Sunday, May 05, 2024
Follow Us
ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ශ්‍රී ලංකාවට සහය දෙන බව විදෙස් තානාපතිවරුන් ජනපතිට කියයි

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පූර්ණ සහාය ලබාදෙන බව විදෙස් තානාපතිවරු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ප්‍රකාශ කළා.



ඒ, ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පිළිබඳව විදෙස් තානාපතිවරු දැනුවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

පැරිස් සමාජය සහ පැරිස් සමාජයට අයත් නොවන රටවල් 23කට අයත් තානාපතිවරු මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මෙම තත්ත්වයෙන් මිදීමට සිය පූර්ණ සහාය ලබාදෙන බව මෙහිදී සඳහන් කළ විදෙස් තානාපතිවරු, කඩිනමින් මෙම අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට තිබෙන එකම අභියෝගය මෙම ආර්ථික අර්බුදය බවත්, එය අනාගත පරපුර වෙනුවෙන් ජය ගැනීම සිය අපේක්ෂාව බවත් එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වූ සාකච්ඡා මෙම වසර අවසන් වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තුවන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

Neth