Wednesday, April 24, 2024
Follow Us
මත භේදයට තුඩු දුන් චීන නෞකාව ගැන අලුත් අනාවරණයක්

චීනයට අයත් යුවාන් වැන්ග් ෆයිව් නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා අවසර ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය හාබර් මාස්ටර් වෙත දැනුම්දී ඇතැයි වාර්තා වනවා. හාබර් මාස්ටර් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍යද වාර්තා කළේ ලබන 16 වනදා සිට 22 වනදා දක්වා මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට විදේශ අමාත්‍යාංශයේ අවසර හිමිවී ඇති බවයි.

රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලැබී ඇති හෙයින් වරායේ සැපයුම් සහතික කිරීම සඳහා එම නෞකාව විසින් පත් කරන ලද දේශීය නියෝජිතයා සමඟ කටයුතු කරන බවටද හාබර් මාස්ටර් දන්වා ඇති බවයි එම ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මත භේදයට තුඩු දුන් චීන නෞකාව ඉකුත් 11 වනදා දිවයිනට පැමිණීමට නියමිතව තිබුණා. එම නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාවද අවස්ථා කිහිපයකදී අදහස් පල කළ අතර ඊට චීනය විසින් ප්‍රතිචාරද දැක්වූවා.

එවන් පසුබිමක් තුළ ඉකුත් 11 වනදා දිවයිනට පැමිණීමට නියමිතව තිබූ “යුවාන් වෑන්ග් - 5” නෞකාවේ පැමිණීම කල්දමන ලෙස කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය වෙත නිල වශයෙන් දැන්වීමටයි විදේශ කටයුතු අමාත්‍යාංශය ඉකුත්දා පියවර ගත්තේ. එම නෞකාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ වැඩිදුර උපදේශන ලබා ගැනීමේ අවශ්‍යතාව මත එම සංචාරය කල් දමන ලෙස චීන තනාපති කාර්යාලය වෙත දන්වා යැවූ බවයි.

අදාල නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්වාධීන තීරණයක් ගත හැකි බවට ඉන්දියාව ප්‍රකාශ කළේ එවන් පසුබිමක් තුලයි. එම නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර නොදෙන්නැයි ශ්‍රී ලංකාවට බලපෑම් කරන බවට ඉන්දියාවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා සදහන් කළා. කෙසේවෙතත් කලාපයේ පවතින වාතාවරණය සහ සිය දේශසීමා ප්‍රදේශවල තත්ත්වය අනුව ඉන්දීය අභිලාෂයන්ට අනුව හොඳම තීරණය ගන්නා බව ඉන්දීය විදේශ අමාත්‍යංශය එහිදී අවධාරණය කළා.

යුවාන් වැන්ග් ෆයිව් නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව සහ අමෙරිකාව, ශ්‍රී ලංකාවට පීඩනයක් එල්ල කරමින් සිටින බවට අමෙරිකානු පුවත්පතක් වාර්තා කර තිබුණා. අමෙරිකාව පවසා තිබුණේ චීන නෞකාවට හම්බන්තොට වරායට ඇතුලුවීමට අවසර ලබාදුන හොත් එය ශ්‍රී ලංකාව, චීනයට විශේෂ සැලකිල්ලක් දැක්වීමක් ලෙස දකින බවයි.

ඉකුත් 11 වනදා පැමිණීමට නියමිතව තිබූ යුවාන් වැන්ග් ෆයිව් නෞකාව ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් නාවික සැතපුම් 620ක් පමණ දුරින් ඊයේ දිනයේ තිබූ බවත් එය හම්බන්තොට වරාය දෙසට ගමන් කරමින් තිබු බවත් මෙරට වරාය නිලධාරීන් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණා.

මේ අතර මතභේදයට තුඩු දුන් චීනයට අයත් යුවාන් වැන්ග් ෆයිව් නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මාධ්‍ය හමුවේ මෙළෙස අදහස් පල කළා.

Neth