Wednesday, May 08, 2024
Follow Us
වායුසමීකරණවලට සීමා පැනවේ

බලශක්ති නාස්තිය අවම කරන්න ගත් තීරණය


බලශක්ති ගැටලුවකට මුහුණ දී ඇති ප්‍රංශය බලශක්ති නාස්තිය අවම කිරීම සඳහා සීමාවන් පැනවීම ආරම්භ කර තිබේ. වායුසමීකරණය කර ඇති සාප්පු වැනි වෙළෙඳ ආයතනවල දොරවල් විවෘතව තැබීම තහනම් කිරීමට බලධාරීහු බලාපොරොත්තු වෙති. එපමණක් නොව නාම පුවරු, දැන්වීම් පුවරු ආදිය ආලෝකකරණය කිරීමට යොදාගන්නා විදුලි පහන්වලට අදාළව ද සීමා පැනවීමට සූදානම් වේ. මෙම සීමාවන් දැනටමත් ඇතැම් ප්‍රදේශවල ක්‍රියාත්මකය. ඉදිරියේදී එරට සියලු නගරවලට අදාළව මේවා ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මෙම සීමාවන් යටතේ අලුයම 1.00 සිට 6.00 දක්වා නාමපුවරු සහ දැන්වීම් පුවරු අලෝකවත් කිරීම තහනම් කිරීමට නියමිතය. වායුසමීකරණ සීමාවන් උල්ලංඝනය කරන ආයතනවලට යුරෝ 750ක දඩයක් පනවනු ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙය ලංකා මුදලින් රුපියල් 275,000කට ආසන්න වේ. “වායුසමීකරණය කර ඇති විටෙක දොරවල් විවෘත කර තැබීම කිසි තේරුමක් නැති වැඩක්” යනුවෙන් විෂය භාර ඇමැතිවරිය වන ඇග්නස් පැනියරේ රුනාචර් පවසා තිබුණාය. ඉහත කී ආලෝකකරණය පිළිබඳ සීමාවන් ගුවන් තොටුපළවලට සහ දුම්රිය ස්ථානවලට අදාළ නොවනු ඇති බවද ඇමැතිවරිය පවසයි.

ප්‍රංශය ඇතුළු යුරෝපයේ බොහෝ රටවල් මේ වනවිට බලශක්ති ගැටලුවකට මුහුණ දී සිටියි. ඊට හේතු වී ඇත්තේ යුක්රේන යුද්ධය පසුබිමේ රුසියාවෙන් යුරෝපයට ලැබෙන ගෑස් වැනි ඉන්ධනවල සැපයුම් අඩාළ වීමය. මේ නිසා ඉන්ධන මිල ගණන් ද වේගයෙන් ඉහළ යමින් තිබේ.

Aruna