Wednesday, May 08, 2024
Follow Us
හිටපු ජනපති අත්අඩංගුවට ගන්නැයි සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත පැමිණිල්ලක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නැයි සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනු කර ඇත්තේ මෙරට පැවති යුද්ධයේ අවසන් කාලසීමාවේ ඔහුගේ ක්‍රියාකලාපය පිළිබද චෝදනා කරමින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා පැවසුවේ ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබද ව්‍යාපෘතිය නමැති දකුණු අප්‍රිකාව පදනම් කර ගත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විසින් එම පැමිණිල්ල ගොනු කර ඇති බවයි.

දශක 3ක් පුරා ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ භූමිකාව සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් එම පැමිණිල්ල ගොණුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේ යුද ගැටුම් පැවැති 2009 කාලයේදී ඔහු බරපතල ලෙස ජිනීවා සම්මුතීය උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම අදාල චෝදනා සිංගප්පූරුවේ දී ඔහුට විරුද්ධව නඩු පැවරීමට යටත් වන බවද එම මානව හිමිකම් සංවිධානය පෙන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේවනවිටත් සිංගප්පූරුවේ රැදී සිටින බවටයි වාර්තා වන්නේ.

Neth