Friday, April 19, 2024
Follow Us
ලංකාව ලෝකෙන් කොන්වෙන තවත් වැඩක්

තානාපති හා මහකොමසාරිස් කාර්යාල වහන්න යයි


කොළඹ පිහිටි විදේශ තානාපති සහ මහ කොමසාරි කාර්යාල කිහිපයක්ම රට තුළ පවතින උග්‍ර ඉන්ධන හිඟය හේතුවෙන් තාවකාලිකව වසාදැමීමේ අවදානමට මුහුණදී ඇතැයි වාර්තා වේ.

කොළඹ පිහිටි එක් බටහිර රටක තානාපති කාර්යාලයක් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ ඉන්ධන නොමැතිකම හේතුවෙන් සිය නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකියාවක් නොමැතිවීම නිසා සතියක කාලයක් සිය කාර්යාලය වසාදැමීමට සිදුවනු ඇති බවයි.

වියනා සම්මුතියට අනුව, විදේශීය රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවලට නිසි ලෙස ක්‍රියාත්මක විය හැකි බවට සත්කාරක රටවල් වග බලා ගත යුතු අතර, යම් හෙයකින් ,එලෙස තානාපති කාර්යාල වසාදැමීමට සිදුවුවහොත් ශ්‍රී ලංකාව අන්තර්ජාතික නිතිය උල්ලංඝනය කිරීමේ චෝදනාවට ලක්වීමේ ඉඩකඩ පවතී.

මෙහිදී ඉන්ධන සැපයීමේ කාර්යය සම්බන්ධිකරණය කරන විදේශ කටයුතු අමාත්‍යංශයේ වගකිවයුතු නිලධාරියකු සෘජුව සම්බන්ධ කරගැනීමට ‘අරුණ’ කරන ලද උත්සාහය අසාර්ථක විය.

අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධනගේ කාර්යාල ප්‍රකාශකයකු සඳහන් කරන ලද්දේ ලේකම්වරිය ජනමාධ්‍ය වෙත අදහස් පලනොකරන බවයි.කෙසේවෙතත් එම ප්‍රකාශකයා පෙන්වා දෙන ලද්දේ විදේශ කටයුතු අමත්‍යාංශය විසින් අඛණ්ඩව මෙරට රැඳී සිටින විදේශීය දුත මණ්ඩලවලට අවශ්‍ය ඉන්ධන ලබාදීමේ කටයුත්ත සම්බන්ධීකරණය කරන බවයි.

” අපිට සාමාන්‍යයෙන් තානාපති කාර්යාලවලින් ඒ අයගේ ඉන්ධන අවශ්‍යතාව දැනුම්දෙනවා. එම අවශ්‍යතාවන් පිළිබඳව අපි ඛනිජතෙල් සංස්ථාවට දැනුම්දුන්නම, සංස්ථාව තමයි ඔවුන්ගේ වාහන සඳහා ඉන්ධන නිකුත් කරන්නේ. හමුදාවේ ඉන්ධන පිරවුම්හල් හරහා ඔවුන්ට ඉන්ධන නිකුත් කෙරෙනවා.නමුත් මේ දිනවල පවතින ඉන්ධන් අර්බුදය හේතුවෙන් අවශ්‍යතාවට අනුව සියලුම වාහනවලට ඉන්ධන ලබාදීමේ ගැටළුවක් පවතින්න පුළුවන්.ඇතැම් තානාපති සහ මහා කොමසාරිස් කාර්යාල වාහන සිය ගණනක් භාවිතා කරනවා. ඒ සියල්ලටම ඉන්ධන ලබාදෙන්න මේ මොහොතේ බැරිවෙන්න පුළුවන්. එත් කාර්යාල වහන්න වෙන තරමේ ඉන්ධන අර්බුදයක් ඇතිවෙලා නැහැ.” යැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna