Wednesday, September 17, 2025
Follow Us
අමෙරිකානු නියෝජිත පිරිස දිවයිනට

ලංකාවේ අර්බුදකාරී තත්ත්වයට සහය දෙන විදිය සොයා බලයි


අමෙරිකානු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් අද (26) අලුයම දිවයිනට පැමිණ තිබේ.

අද අලුයම 2.20ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි එම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරින් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරින් විසින් පිළිගෙන ඇති බව වාර්ත වේ.

දිවයිනට පැමිණි අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිස ලබන 29 වනදා දක්වා මෙරට රැඳී සිටින බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය.

ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබර්ට් කැප්‍රොත් සහ දකුණු හා මධ්‍යම ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් යන මහත්ම මහත්මීන් එම නියෝජිත පිරිසට ඇතුළත් බව වාර්තා වේ.

මෙහිදී පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයින්ට සහාය ලබාදිය හැකි වඩාත් ඵලදායී ක්‍රමවේද පිළිබඳ සොයාබැලීමට එම දූත පිරිස කටයුතු කරනු ඇති බව අමෙරිකානු තානාපති කාර්යාලය පැවසුවේය.

ඔවුන් සිය සංචාරයේදී මෙරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයින්, දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙන්ම ආර්ථික විශේෂඥයින් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Aruna