Wednesday, September 17, 2025
Follow Us
තේ සහ කිරි තේ බීම අඩු කරන්න

රජය ආනයන වියදම් කප්පාදු කරයි


දැඩි ආර්ථික අර්බුදයකින් පෙළෙන පකිස්ථාන රජය තේ සහ කිරි තේ පානය අඩු කරන්නැයි එරට ජනතාවට ප්‍රකාශ කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම දැඩි ආර්ථික අර්බුදය නිසා එරට විදේශ මුදල් සංචිත ඉතා වේගයෙන් අඩු වීමට පටන්ගෙන තිබෙන අතර එම නිසා ආනයන වියදම් කප්පාදු කිරීමට රජයට සිදුවී තිබේ.

පකිස්ථානය ලොව විශාලතම තේ ආනයනකරුවකු ලෙස සැලකෙන අතර 2021 වසරේ පමණක් පකිස්ථාන රජය ඩොලර් මිලියන 600 කට වඩා වැඩි මුදලක් තේ මිලදී ගැනීම සඳහා වැය කර ඇත.

පකිස්ථාන රජය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ විදේශ සංචිත ප්‍රමාණවත්ව ඇත්තේ මාස දෙකක් සඳහා භාණ්ඩ ඇණවුම් කිරීමට පමණක් බවත් එම විදෙස් සංචිත යොදා ගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණක් මිලදී ගැනීමට කටයුතු කරන බවත් ය.

දිනකට පානය කරන තේ කෝප්ප ප්‍රමාණය සීමා කිරීමෙන් ආනයන බිල්පත් අඩු කර ගැනීමට හැකි බව රජය වෙනුවෙන් ජනතාවට පෙන්වා දි ඇත්තේ පකිස්ථානයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන අෂාන් ඉක්බාල්ය.

මේ වනවිට පකිස්ථානය විදුලි අර්බුදයකට ද මුහුණ පා සිටින නිසා ප්‍රධාන නගර සහ පළාත්වල පැය 8 කට වැඩි කාලයක් ද පිට පළාත්වල පැය 12 ක කාලයක් ද විදුලිය කප්පාදු කරන අතර ආහාර, ඖෂධ සහ ඉන්ධන හිඟයක් පවතින බැවින් ඒවායේ මිල වේගයෙන් ඉහළ යමින් පවතී.

Aruna