වනිදු කඩුළු 4ක් දවා ගනී
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගය කඩුළු 2කින් ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම 14 සමත් විය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 7ක් පමණක් දැවී ලකුණු 300ක් රැස්කර ගැනීමට සමත් විය.
එහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 86ක් රැස්කර ගත් අතර, ඊට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 8ක් ද ඇතුළත් වේ.
ධනුෂ්ක ගුණතිලක ලකුණු 55යි.
පැතුම් නිශ්ශංක ලකුණු 56යි.
චරිත් අසලංක ලකුණු 37යි.
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 19කදි ලකුණු 37ක් රැස්කර ගැනීමට වනිදු හසරංග සමත් විය.
ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට හතරේ පහර 6ක් ද ඇතුළත් වේ.
අනතුරුව සිය ඉලක්කය හඹායම සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම පල්ලෙකැලේ පිටියට පිවිසය ද, ඔවුන්ට වැඩි වේලාවක් පන්දුවට පහරදීමට නොහැකි විය.
ඒ පල්ලේකැලේ ක්‍රීඩාංගණයට බලපා වර්ෂාව හේතුවෙනි.
ඒ අනුව තරගය පන්දුවාර 44කට සීමා කිරීමට විනිසුරුවන් තීරණය කළ අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි වූ ඉලක්කය ද 282 දක්වා අඩු කෙරිණි.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 3ක දි කඩුළු 8 ක් පමණක් දැවී ලකුණු 282 ක් රැස්කර ගැනීමට සමත් විය.
ඔස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ස්ටීවන් ස්මිත් ලකුණු 53ක් ලබාගැනීමට සමත් විය.
නොදැවී පන්දුවට පහරදුන් ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 80 ක් රැස්කර ගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වනිදු හසරංග කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.
Aruna