ශ්‍රී ලංකාවට ලබාදෙන ණය ප්‍රමාණය පිළිබඳ හෝ ශ්‍රී ලංකාව සමඟ කාර්ය මණ්ඩල මට්ටමින් ගිවිසුමකට එළඹෙන දිනයක් පිළිබඳ තවමත් ප්‍රකාශ කළ නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එහි ප්‍රකාශක ජෙරී රයිස් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මේ මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.
කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම් ගතවීමේ අවසන් දිනය ප්‍රකාශ කිරීමට තවමත් කල් වැඩි බව ඔහු පවසා තිබෙනවා. අදාල ගිවිසුමට එළඹීම රඳා පවතින්නේ සිදුකරන යෝජනා සහ ප්‍රතිපත්ති සඳහා කැපවන ශක්තිය මත බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයා මෙහිදී පවසා ඇත්තේ.
ශ්‍රී ලංකාවේ ණය තිරසර භාවය යථාතත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රමාණවත් සහතිකයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍යයි. කෙසේවෙත්තත් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ පැවැත්වූ තාක්ෂණික සාකච්ඡා මත පදනම්ව ප්‍රතිපත්තිමය සාකච්ඡා සඳහා සිය නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ජෙරී රයිස් වැඩිදුරටත් පවසා ඇත්තේ.
ශ්‍රී ලංකා රජය අපේක්ෂාවෙන් පසුවන්නේ ඉදිරි මාසයක් හෝ මාස එක හමාරක කාලයක් තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වීමටයි.
Neth