Wednesday, April 24, 2024
Follow Us
ශ්‍රී ලංකාවට සහය දෙන්න IMF සහ G7 රටවල් සූදානමින්

ශ්‍රී ලංකාව සම්බන්ධ ණය වැඩසටහන පිළිබඳ පැවැත්වෙන තාක්ෂණික සාකච්ඡා මැයි 24 දිනෙන් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එහි ප්‍රකාශක ගැරී රයිස් පවසා ඇත්තේ මෙරට දේශපාලන හා ආර්ථික වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරන බවයි.

1948 න් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදයට මේ වන විට මුහුණ දෙමින් සිටිනවා. එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුව ශ්‍රී ලංකාවට උපකාර කිරීමට කැපවී සිටින බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ගැරී රයිස් පවසනවා. මෙරට මුහුණ දී සිටින අර්බුදය කාලෝචිත ලෙස විසඳා ගැනීම සඳහා අදාළ පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කරන බවයි ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ.

මේ අතර ලොව ආර්ථික බලවතුන් හත් දෙනාගේ කණ්ඩායම වන G7 කණ්ඩායමේ මූල්‍ය ප්‍රධානීන් ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊයේ පැවති රැස්වීමකදී සාකච්ඡා කර තිබෙනවා. එහිදී ඔවුන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සඳහා ණය සහන ලබාදීමේ ප්‍රයත්නයට සහය ලබාදෙන බවයි.

සාර්ථක ණය වැඩසටහනක් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඵළදායී ලෙස සාකච්ඡා කරන ලෙසයි G7 කණඩායමේ රටවල් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත්තේ. ශ්‍රී ලංකාව සඳහා සංසංදනාත්මක කොන්දේසි මත ණය සහන ලබාදෙන ලෙසද ඔවුන් සෙසු රටවලින් මෙහිදී ඉල්ලා තිබෙනවා.

(Neth)