Saturday, April 27, 2024
Follow Us
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහභාගි වෙති

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා කොළඹ සිට පැමිණි නියෝජිත පිරිසට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා නායකත්වය ලබා දුන් අතර, අධිකරණ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා ද මෙම නියෝජිත පිරිස සමඟ එක්විය.

මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය පවත්වන ලද්දේ, අදාළ රට ලෙස ශ්‍රී ලංකාවේ කැමැත්ත නොමැතිව සහ කවුන්සිලයේ සාමාජිකයින් 47 දෙනාගෙන් 22 දෙනෙකු පමණක් එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරමින් 2021 මාර්තු මාසයේ දී සම්මත කරන ලද 46/1 යෝජනාවට අනුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීමක් එම කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත පසුබිමක් තුළ විය.

අනාගතයේ දී නඩු පැවරීමේ අරමුණින් යුතුව, අපරාධ හා සම්බන්ධ සාක්ෂි එකතු කිරීමේ කාර්යභාරය මහ කොමසාරිස්වරියගේ කාර්යාලය වෙත පැවරීමේ අවශ්‍යතාව පිළිබඳව සඳහන් වන මෙම යෝජනාවේ 6 වැනි මෙහෙයුම් ඡේදය ඉතා භයානක පූර්වාදර්ශයක් සපයයි. එහි මූලික වශයෙන් අන්තර්ගත දෝෂ සහිත ස්වභාවය හේතුවෙන්, 46/1 යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල් පවා, සිය ‘ඡන්දය පිළිබඳ පැහැදිලි කිරීමේ දී’ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය වෙත පවරා ඇති, එහි ආරම්භක ලේඛනය වන GA 48/141 යෝජනාව සමඟ නොගැලපෙන මෙම නව කාර්යය පිළිබඳව එකඟ විය නොහැකි බව ප්‍රකාශ කළහ.

46/1 දරන යෝජනාවේ අන්තර්ගත 6 වැනි මෙහෙයුම් ඡේදය මඟින්, “සාක්ෂි … එකතු කිරීම, ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ධාරිතාව ශක්තිමත් කිරීම” යන කරුණු පමණක් අපේක්ෂා කරන වාතාවරණයක් තුළ, 46/1 දරණ යෝජනාව උපුටා දක්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් “ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ ව්‍යාපෘතිය” නමින් ව්‍යාපෘතියක් මේ වන විට ස්ථාපිත කොට ඇත. මේ අනුව, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය තුළ අභ්‍යන්තර ධාරිතා ගොඩනැගීමේ අභ්‍යාසයක් පමණක් විය යුතුව තිබූ කාර්යයක්, අත්තනෝමතික ලෙස ව්‍යාපෘතියක මට්ටම වෙත ඔසවා තබා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අනෙකුත් බාහිර යාන්ත්‍රණ සමඟ ලැයිස්තුගත කොට ඇත.

තවද, මෙකී සියලු විරෝධාත්මක ක්‍රියාවන් ජිනීවාහි දී සිදු වන්නේ, සියලුම ලාංකිකයන් අරභයා සංහිඳියාව සහ මානව හිමිකම් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් යුතුව, ජාතික ක්‍රියාදාමයන් මාලාවක් ආරම්භ කොට ක්‍රියාත්මක කිරීමේ කර්තව්‍යය තුළ ශ්‍රී ලංකා රජය දැඩි ලෙස නියැලී සිටින වාතාවරණයක් තුළය. මෙම සන්දර්භය තුළ, කවුන්සිලය, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් සහ අනෙකුත් අදාළ ක්‍රියාකාරීන් ඇතුළු ජිනීවා හි පාර්ශවකරුවන් හමුවේ මේ සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය පැහැදිලි කිරීම සහ කොවිඩ්-19 වසංගතය ආශ්‍රිත අභියෝග මධ්‍යයේ පවා ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාවට වැදගත් විය.

විදේශ කටයුතු අමාත්‍යවරයා 2022 මාර්තු 1 වැනි දින, මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසි වාරයේ ඉහළ පෙළේ අංගය අමතමින්, සංවර්ධනයට සඳහා වූ අයිතිය සහ මේ සම්බන්ධයෙන් අප ලබා ඇති ජයග්‍රහණ ඇතුළුව මානව හිමිකම් සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන බහුපාර්ශ්වික රාමුව, ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නෛතික සහ ආයතනික රාමු සම්බන්ධයෙන් ක්‍රියාකාරීව සහභාගිවන්නෙකු ලෙස ශ්‍රී ලංකාව සතු දිගුකාලීන පැතිකඩ පිළිබඳව අවධාරණය කළේය.

සාමාජික රටවල ස්වෛරී සමානාත්මතාවයේ මූලධර්මය මත පදනම් ව අපක්ෂපාතීත්වය, විෂයමූලිකත්වය සහ තෝරා නොගැනීම යන මූලධර්ම භාවිතයට ගනිමින් මානව හිමිකම් කවුන්සිලය මෙහෙයවීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ අමාත්‍යවරයා, බාහිර හේතූන් මත ක්‍රියාත්මක කරන ලද දණ්ඩනීය, දේශපාලනීකරණය කරන ලද, බෙදීම් ඇති කරන, උපකාරී නොවන ක්‍රියාමාර්ගවලට එරෙහිව සිය විරෝධය පළ කළේ ය.

2022 මාර්තු 4 වැනි දින, ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීම හඳුන්වා දීමෙන් අනතුරුව පැවති අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී, අදාළ රට වශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රකාශයක් සිදු කළ විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා, අනෙකුත් කරුණු අතර, ශ්‍රී ලංකාව පිළිබඳ 46/1 යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ ආරම්භක මූලධර්මවලට සෘජුවම පටහැනි වන බව පෙන්වා දුන්නේ ය. මහ කොමසාරිස්වරියගේ ලිඛිත යාවත්කාලීන කිරීම් තුළ අඩංගු, වෙනස් කොට සැලකීමේ සහ ආක්‍රමණශීලී ස්වභාවයන් පිළිබඳව එතුමා සභාවට පෙන්වා දුන්නේ ය.

මහ කොමසාරිස්වරියගේ ලිඛිත යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් පැවති අන්තර්ක්‍රියාකාරී සංවාදය අතරතුර දී, සංහිඳියාව සඳහා ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කොට ඇති සැලකිය යුතු ආකාරයේ ප්‍රයත්න අගය කළ ගෝලීය දකුණු දිග රටවල් රැසකින් ශ්‍රී ලංකාව වෙත සිය කලාපීය සහය හා සහයෝගීතාව පළ විය. තවද, ඔවුහු බහුපාර්ශ්වික කටයුතු සඳහා මූලික පදනම සපයන විෂයමූලික සහ නිර්මාණාත්මක සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව ද යළි අවධාරණය කළහ. මෙම අන්තර්ක්‍රියාකාරී සංවාදයේ දී ප්‍රකාශ ලබා දුන් රටවල් 45 න් 31 ක් ශ්‍රී ලංකාව වෙත සිය සහාය පළ කළහ. මෙම දේශකයන් දකුණු, අග්නිදිග හා මධ්‍යම ආසියාව, ලතින් ඇමරිකාව සහ අප්‍රිකාවේ ප්‍රාන්තවල පුළුල් පරාසයක් නියෝජනය කළහ.

මෙම අන්තර්ක්‍රියාකාරී සංවාදයේ දී ශ්‍රී ලංකාවට පක්ෂව අදහස් දැක්වූ රටවල් 31 වූයේ සෞදි අරාබිය, ඊජිප්තුව, පිලිපීනය, නේපාලය, කෙන්යාව, ඉතියෝපියාව, මාලදිවයින, චීනය, කියුබාව, ජපානය, සිරියානු අරාබි ජනරජය, වියට්නාමය, ප්‍රජාතාන්ත්‍රික මහජන උතුරු කොරියානු ජනරජය, වෙනිසියුලාව, නයිජීරියාව, පාකිස්ථානය, කාම්බෝජය, රුසියානු සමූහාණ්ඩුව, ලෙබනනය, උගන්ඩාව, බෙලරුසය, සිම්බාබ්වේ, එරිත්‍රියාව, දකුණු සුඩානය, ලාඕ මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජය, යේමනය, ඉරානය, නයිජර්, කසකස්තානය, බංග්ලාදේශය සහ අසර්බයිජානයයි.

මීට අමතරව, ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සංවාදයෙන් පසුව පැවති 2 වැනි අයිතමය පිළිබඳ පොදු විවාදයේ දී, දකුණු කොරියාව ද, ශ්‍රී ලංකාව සංහිඳියාව සහ නීතිමය ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැරූ උත්සාහයන් පිළිගත්තේ ය.

ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ ඇතුළු ජාතික ක්‍රියාවලීන් හරහා සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පවත්නා කැපවීම සහ කොවිඩ්-19 වසංගතය ආශ්‍රිත අභියෝග හමුවේ වුවද මේ සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ගෝලීය දකුණු රාජ්‍යයන් විසින් හඳුනාගන්නා ලදී. තවද, මානව හිමිකම් කවුන්සිලය සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් ස්වේච්ඡා ජාතික ක්‍රියාවලීන් සඳහා සහය පළ කිරීමේ වැදගත්කම මෙන්ම, අපක්ෂපාතීත්වය, තෝරා ගැනීම්වල දී පක්ෂපාතී නොවීම සහ දේශපාලනීකරණය නොකිරීම යන මූලික මූලධර්ම ඔසවා තැබීමේ වැදගත්කම ද ඔවුන් විසින් අවධාරණය කරන ලදී.

මැදිහත් වූ නියෝජිතයින් විසින් අවධාරණය කරන ලද කරුණු අතර, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ව්‍යවස්ථාමය සහ පාලන කටයුතුවල ක්ෂුද්‍ර කළමනාකරණය පිළිබඳව පළ කළ කනස්සල්ල සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ සහ මානව මිහිකම් යෝජනාවල විධිවිධාන දැඩි ලෙස පිළිපැදීමේ අවශ්‍යතාවය ද අන්තර්ගත විය. ජාත්‍යන්තර මානව හිමිකම් යාන්ත්‍රණ හා සබැඳි සහයෝගීතාව බාහිර බලපෑම්වලින් තොරව සිදු විය යුතු බවත්, එහි ප්‍රමුඛතා සහ ජාත්‍යන්තර සහය පිළිබඳ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා රාජ්‍යයන්ට බලයක් ඇති බවත්, සහයෝගී ක්‍රියාමාර්ග පමණක් සත්‍ය වශයෙන්ම ඵලදායී වන බවත්, එය රටක මානව හිමිකම් සැබෑ ලෙස ශක්තිමත් කිරීමට දායක වන බවත් අවධාරණය කෙරිණි.

“වගකීම පිළිබඳ ව්‍යාපෘතියක්” පිහිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ ලේකම් කාර්යාලය ගත් තීරණය, එහි විධිනියෝග උල්ලංඝනය කරන්නක් බව සඳහන් කළ ඇතැම් මැදිහත් දූත කණ්ඩායම්, සාක්ෂි රැස්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ ලේකම් කාර්යාලය වෙත පැවරී ඇති කාර්යභාරය සමඟ එකඟ නොවූහ. ඇමරිකානු ඩොලර් මිලියන 3 ක පමණ අධික පිරිවැයක් සහිත මෙම විධිනියෝගය පිළිබඳව ද මෙහිදී අදහස් පළ කෙරිණි.

කොළඹ සිට පැමිණි දූත පිරිස මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසි වාරයට සමගාමීව පහත සඳහන් විදේශීය නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර, එම සාකච්ඡා පවත්වන ලද අනුපිළිවෙල පහත පරිදි ලැයිස්තුගත කොට ඇත:

දකුණු සහ මධ්‍යම ආසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරික් අහ්මඩ් සාමිවරයා සහ එක්සත් රාජධානියේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත හා තානාපති රීටා ෆ්‍රෙන්ච් මැතිනිය
පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් බැරන්වරිය
ටිමෝර් – ලෙස්ටේ රාජ්‍යයේ විදේශ කටයුතු හා සහයෝගීතා අමාත්‍ය අඩලිජා මැග්නෝ මැතිනිය
ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ නිත්‍ය නියෝජිත, නිත්‍ය නිරීක්ෂක හා තානාපති නසීමා භග්ලි මැතිනිය
ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඩැරන් ටැන්ග් මහතා (WIPO)
සෞදි අරාබියේ නිත්‍ය නියෝජිත අබ්දුලාසිස් එම්. ඕ. අල්වසිල් මහතා
පලස්තීනයේ විදේශ අමාත්‍ය රිසාඩ් අල් මලිකි මැතිතුමා සහ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පලස්තීන නිත්‍ය නියෝජිත ඊබ්‍රහිම් ක්‍රයිෂි මහතා
පාකිස්තානයේ මානව හිමිකම් පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය ශිරීන් එම් මසාරි මැතිනිය සහ ජිනීවා හි පාකිස්තාන නිත්‍ය නියෝජිත ඛලීල් හෂ්මි මහතා.
දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා හා සහයෝගීතා අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝරා මැතිනිය
ඊජිප්තුවේ මානව හිමිකම් සහ මානුෂීය කටයුතු පිළිබඳ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඛලේඩ් එල් බක්රි මැතිතුමා සහ ඊජිප්තුවේ නිත්‍ය නියෝජිත අහ්මඩ් ඉහාබ් අබ්දෙලාහාඩ් ගමාලඩින් මහතා
ජිනීවා හි එක්සත් ජනපද නිත්‍ය නියෝජිත බැත්ෂෙබා නෙල් ක්‍රොකර් මහත්මිය
එක්සත් රාජධානියේ නිත්‍ය නියෝජිත සයිමන් මෑන්ලි මහතා සහ ඕස්ට්‍රේලියාවේ නිත්‍ය නියෝජිත ඇමැන්ඩා ගොරේලි මහත්මිය
ඉස්ලාමීය ඉරාන ජනරජයේ නියෝජ්‍ය අධිකරණ ප්‍රධානී ආචාර්ය කසේම් ගරිබබාඩි මහතා සහ ඉරානයේ නිත්‍ය නියෝජිත ගරු එස්මයිල් බගේයි හමානේ මැතිතුමා
තුර්කියේ නිත්‍ය නියෝජිත සාදික් අර්ස්ලාන් මහතා
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය
මානව හිමිකම් කවුන්සිලයේ සභාපති, ආර්ජන්ටිනාවේ නිත්‍ය නියෝජිත ෆෙඩරිකෝ විලේගාස් මහතා
බංග්ලාදේශයේ නිත්‍ය නියෝජිත මොහොමඩ් මුස්තාෆිසූර් රහ්මාන් මහතා සහ ඉන්දුනීසියාවේ නිත්‍ය නියෝජිත ෆෙබ්‍රියන් රුඩ්යාඩ් මහතා
ඉහත සාකච්ඡාවලට අමතරව, ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා විසින් පහත සඳහන් පිරිස් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන ලදි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්රෝස් ඇඩනම් ගෙබ්‍රියෙසස් මහතා
කොවැක්ස් හි (COVAX) රාජ්‍ය නිරතවීම් කණ්ඩායමේ අධ්‍යක්ෂ සන්තියාගෝ කොර්නේජෝ මහතා
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ