Monday, September 14, 2026
Follow Us
පළාත් පාලන සතිය ඇරඹේ
“පළාත් පාලන ආයතන යනු ජනතාවගේ දෛනික ජීවිතයට වඩාත් සමීපතම රාජ්ය ආයතන වන බැවින්, එම ආයතන ශක්තිමත් කිරීම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සෘජුවම බලපානවා” යන පණිවිඩය අවධාරණය කරමින් 2026 ‘පුනරුදයේ පුරවර’ පළාත් පාලන සතියේ ජාතික සමාරම්භක උත්සවය රුවන්වැල්ල ප්රාදේශීය සභාව මූලික කරගනිමින් අද (14) රුවන්වැල්ල යටන්වල ශ්රී ස්වර්ණවාලුකාරාම විහාරස්ථ ශ්රවණාගාරයේදී පැවැත්විණි.
පළාත් පාලන සතිය නිල වශයෙන් ආරම්භ කරමින් ඊට අදාළ වෙබ් ද්වාරය එළිදැක්වීම රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්රධානත්වයෙන් සබරගමුව පළාත් ආණ්ඩුකාරවර චම්පා ජානකි රාජරත්න මහත්මිය හා පළාත් සභා හා පළාත් පාලන නියෝජ්ය අමාත්ය රුවන් සෙනරත් මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
මෙහිදී දැරණියගල ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඉඩම් බලපත්ර බෙදාදීම, සබරගමුව පළාත් සමාජ සේවා අරමුදල මගින් අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ආධාර ලබා දීම, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ප්ලාස්ටික් කූඩ, ජී.අයි. බට, ගෙවතුවගා බීජ කට්ටල හා පළතුරු පැල බෙදාදීම, පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කිරීමේ ව්යාපෘතිය යටතේ රුවන්වැල්ල හා බුලත්කොහුපිටිය ප්රාදේශීය සභා වෙත පරිගණක බෙදා දීම ද සිදු විය.
සැප්තැම්බර් 14 සිට 19 දක්වා ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ජාතික තේමාව පෙරදැරි කරගනිමින් ක්රියාත්මක වන මෙවර පළාත් පාලන සතිය යටතේ දිවයිනේ පළාත් පාලන ආයතන 341ම ආවරණය වන පරිදි වැඩසටහන් 4,300කට අධික සංඛ්යාවක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
සාම්ප්රදායික නිලධාරිවාදි රාමුවෙන් මිදී මහජන කේන්ද්රීය, කාර්යක්ෂම, පරිසර හිතකාමී සහ පාරදෘශ්ය පළාත් පාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීම සහ මහජනතාව සෘජුවම රාජ්ය පාලන ක්රියාවලියට සම්බන්ධ කරගැනීම මෙහි ප්රධාන අරමුණයි.
මෙහිදී අදහස් දැක්වූ රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා අවධාරණය කළේ, රජයේ සංවර්ධන ප්රතිලාභ ජනතාව වෙත සෘජුවම ගෙන යාම සඳහා පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම අත්යවශ්ය බවයි.
“පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන ජාතික දැක්ම යටතේ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා පළාත් පාලන ආයතන සක්රීයව දායක කරගත යුතු බවද අමාත්යවරයා පැවසීය.
“මහජන මුදල් වඩාත් ආර්ථිකව, කාර්යක්ෂමව සහ ඵලදායීව භාවිත කරමින් ජනතාවට උපරිම සේවාවක් ලබාදීම අපගේ වගකීමයි” යනුවෙන් ද අමාත්යවරයා අවධාරණය කළේය.
පළාත් පාලන ආයතනවල ආදායම් උත්පාදන ව්යාපෘති ක්රියාත්මක කිරීම සඳහා මෙවර මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 2,500ක ප්රතිපාදන වෙන්කර තිබේ. ග්රාමීය පාලම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1,050ක ප්රතිපාදන වෙන්කර ඇති අතර, එම කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ.
එමෙන්ම පළාත් පාලන ආයතනවල අපද්රව්ය කළමනාකරණය තවදුරටත් විධිමත් කිරීම සඳහා ජපාන ජාත්යන්තර සහයෝගිතා ආයතනය (JICA) සමඟ එක්ව වසර තුනක ජාතික අපද්රව්ය කළමනාකරණ සැලැස්මක් ක්රියාත්මක කිරීමට කටයුතු කරමින් පවතින අතර එමගින් පළාත් පාලන ආයතන 341ම ආවරණය වන පරිදි ව්යාපෘති ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
රුවන්වැල්ල ප්රදේශයේ ප්රතිචක්රීකරණ මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට ද කටයුතු කර ඇති අතර,ඉදිරියේදී දිවයින පුරා තවත් ප්රතිචක්රීකරණ මධ්යස්ථාන ස්ථාපිත කිරීමටත්, දිරාපත් නොවන අපද්රව්ය කළමනාකරණය වඩාත් විධිමත් කිරීමටත් අවධානය යොමු කර තිබේ.
පළාත් පාලන ආයතනවල පවතින වාහන හා යන්ත්රෝපකරණ හිඟය පියවීම සඳහා මෝටර් ග්රේඩර්, ජල බවුසර්, ගලි බවුසර්,ට්රැක්ටර් සහ ත්රිරෝද රථ ඇතුළු වාහන හා යන්ත්රෝපකරණ 700කට ආසන්න ප්රමාණයක් ලබාදීමටද කටයුතු කරමින් පවතී.
පළාත් පාලන ආයතනවල මානව සම්පත් හිඟය සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව ඇති අතර, රාජ්ය සේවයට නව බඳවා ගැනීම් සඳහා ගෙන ඇති වැඩපිළිවෙළ යටතේ පළාත් පාලන සේවාවන්හි අවශ්යතා සපුරාලීමටද කටයුතු කරන බව අමාත්යවරයා සඳහන් කළේය.
එමෙන්ම ජනතාවට තම ස්ථානයේ සිටම පළාත් පාලන ආයතන වෙත අදාළ බදු හා ගාස්තු ගෙවීමට හැකිවන පරිදි ඩිජිටල් පහසුකම් පුළුල් කිරීමටද සැලසුම් කර තිබේ.
මෙවර පළාත් පාලන සතියේ ජාතික සමාරම්භක උත්සවයට අදාළව ජංගම සේවා සහ ආදායම් ප්රවර්ධන වැඩසටහන් ඇතුළු විවිධ ක්රියාකාරකම් රැසක් රුවන්වැල්ල ප්රදේශයේදී ආරම්භ වූ අතර දිවයිනේ සියලු පළාත් පාලන ආයතනවල ද සැප්තැම්බර් 19 දක්වා මෙම වැඩසටහන් ක්රියාත්මක වේ.
පළාත් සභා හා පළාත් පාලන නියෝජ්ය අමාත්ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේ, පසුගිය වසරේ පළාත් පාලන සතියේදී ලැබූ අත්දැකීම් මත මෙවර වැඩසටහන වඩාත් සැලසුම් සහගතව ක්රියාත්මක කරන බවයි.
“ගිය වසරේ අපි පළාත් පාලන සතිය පැවැත්තුවා ඌව පළාතේ බදුල්ල දිස්ත්රික්කයේ මීගහකිවුල ප්රාදේශීය සභාව කේන්ද්ර කරගෙන. ඔබ දන්නවා මේ පළාත් පාලන සතිය ගිය වසරේ අපි පැවැත්තුවේ වසර ගණනාවකට පස්සේ. මට මතක හැටියට වසර අටකට විතර පස්සේ තමයි පළාත් පාලන සතිය පැවැත්තුවේ ගිය වසරේ. අපි ගිය වසරේ පළාත් පාලන සතිය අවසන් වෙලා සමාලෝචනයක් කළාම අපිට ආවා සංඛ්යාත්මක වාර්තාවක්; පළාත් පාලන ආයතන 341 තුළ වැඩසටහන් 3000කට අධික ප්රමාණයක් සිදු කරලා තියෙනවා. එහි අත්දැකීම් සියල්ල නැවත සලකා බලලා, මේ වසරේ මේ වැඩසටහන ආරම්භ කරද්දී අපි කලින්ම පළාත් පාලන ආයතනවලට කිව්වා මේ සතිය පුරාම ඉටු කරන එක් එක් දිනයන්හි ඔබ ඉටු කරන වැඩසටහන් සංයුක්ත කරලා අපිට වාර්තාවක් විදියට අමාත්යාංශයට එවන්න කියලා.
ඒ අනුව අපිට එවපු වාර්තා 341ම පරීක්ෂා කරලා බැලුවාම සංඛ්යාත්මක වශයෙන් ගත්තොත් මේ සතිය පුරාම වැඩසටහන් 4300ක් සෑම පළාත් පාලන ආයතනයකම සිදු කරන්න සැලසුම් කරලා තියෙනවා. පසුගිය වසරේ ලැබූ අත්දැකීම් හා ප්රතිඵල ඇගයීමට ලක් කරමින්, මෙවර පළාත් පාලන සතිය වඩාත් සංවිධානාත්මකව හා පුළුල් වැඩසටහන් මාලාවක් ලෙස ක්රියාත්මක කිරීමට අප කටයුතු කර තිබෙනවා” යනුවෙන් නියෝජ්ය අමාත්යවරයා පැවසීය.
කෑගල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නන්ද බණ්ඩාර මහතා අදහස් දක්වමින් පෙන්වා දුන්නේ, ජනතාවගේ දෛනික ජීවිතය සමඟ සෘජුවම බැඳී පවතින පළාත් පාලන ආයතනවල කාර්යක්ෂමතාව ජනතාවගේ ජීවන තත්ත්වයට සෘජු බලපෑමක් ඇති කරන බවයි.
“ජනතාවගේ දෛනික ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේදී පළාත් පාලන ආයතනවල කාර්යභාරය ඉතා වැදගත්. ඒ නිසා ජනතාවගේ විශ්වාසය හා ගෞරවය ආරක්ෂා කරමින් වගකීමෙන් කටයුතු කිරීම දේශපාලන නියෝජිතයන්ගේත්, රාජ්ය නිලධාරීන්ගේත් වගකීමක්” යනුවෙන් මන්ත්රීවරයා අවධාරණය කළේය. කෑගල්ල දිස්ත්රික්කයේ පළාත් පාලන ආයතන සියල්ලට ම අවශ්ය වන සහයෝගය තමා ලබාදීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, පළාත් පාලන සතිය යනු නව සේවා හඳුන්වාදීමකට පමණක් සීමා වූ වැඩසටහනක් නොවන බවයි. දැනටමත් පළාත් පාලන ආයතන මඟින් ජනතාවට ලබාදෙන සේවාවන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, ජනතා සහාභාගීත්වය ඉහළ නැංවීම සහ රාජ්ය හා රාජ්ය නොවන පාර්ශ්වයන්ගේ සහයෝගය ලබාගැනීම මෙහි ප්රධාන අරමුණක් බවද ඔහු පැවසීය.
(පළාත් පාලන සතියේ දිනපතා පැවැත්වෙන විශේෂිත වැඩසටහන් පිළිවෙළ:)
• සැප්තැම්බර් 14 (සමාරම්භක දිනය) - ජංගම සේවා සහ ආදායම් ප්රවර්ධන දිනය
• සැප්තැම්බර් 15 - මහජන උපයෝගිතා දිනය: (ප්රජාතන්ත්රවාදය පිළිබඳ ජාත්යන්තර දිනයට සමගාමීව)
• සැප්තැම්බර් 16 - පරිසර සහ රුක්රෝපණ දිනය: (ඕසෝන් ස්ථරය සංරක්ෂණය කිරීමේ ජාත්යන්තර දිනයට සමගාමීව)
• සැප්තැම්බර් 17 - සෞඛ්ය සහ සනීපාරක්ෂක දිනය: (රෝගී සුරක්ෂිතතාව පිළිබඳ ජාත්යන්තර දිනයට සමගාමීව)
• සැප්තැම්බර් 18 - සාහිත්ය, අධ්යාපන, පුස්තකාල සහ ක්රීඩා දිනය: (සාහිත්ය මාසයට සමගාමීව)
• සැප්තැම්බර් 19 - සහතික පත්ර ප්රදානය සහ සමාප්ති දිනය:
 
සතිය පුරා පැවැත්වූ සියලු තරගවල ජයග්රාහකයන්ට සහතික පත්ර සහ ත්යාග පිරිනැමීම.
මෙම අවස්ථාවට සබරගමුව පළාත් ආණ්ඩුකාරවර චම්පා ජානකි රාජරත්න මහත්මිය, ඇතුළු පිරිසක් සහභාගි වූහ.