දිස්ත්‍රික්ක 07කට බලපෑ එල්නිනෝ තත්ත්වයත් සමග පානීය ජල අවශ්‍යතා සඳහා මෙන්ම අනෙකුත් කටයුතු සඳහා රුපියල් බිලියන 4.7ක ප්‍රතිපාදන වියදම් කිරීමට ඉතිරිව පවතින බවද අවශ්‍ය වුවහොත් ඒ සඳහා ඉදිරියේදී තවත් ප්‍රතිපාදන ලබාදීමට මුදල් අමාත්‍යංශය සූදානම් බවද කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
මේ වන විට දිස්ත්‍රික්ක 07ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23ක පවුල් 25,628ක පුද්ගලයන් 81,665ක් සදහා ජලය බෙදාහැරීමේ කටයුතු සිදුකරමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා වැඩිම හානිය සිදුව ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයේ බවද පෙන්වා දුන්නේය.
මොනරාගල, මඩකලපුව, අම්පාර, බදුල්ල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක ප්‍රධාන වශයෙන් එල්නිනෝ බලපෑමට ලක්වී ඇතැයිද අවධාරණය කළේය. මේ අනූව දිනකට බීමට පැවති ජල අවශ්‍යතාවයේ ප්‍රමාණය විශාල වශයෙන් වැඩිකර ඇතැයිද පැවසූ අමාත්‍යවරයා විටෙන් විට අවශ්‍ය නිලධාරීන් කැඳවමින් ජලය සැපයීම සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් අවශ්‍ය උපදෙස් ලබාදී ඇතැයිද සදහන් කළේය.
ඒ සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් ලබාදෙන බවද තවදුරටත් මෙම ස්වභාවික තත්ත්වය වර්ධනය වීම සම්බන්ධයෙන් පුරෝකතනය කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇතැයිද ඒ අනූව නිලධාරීන් ක්‍රියාත්මක වන බවද පැවසුවේය.