නාගරික සංවර්ධන අධිකාරිය සහ රාජ්‍ය ආයතන හවුල්කාරිත්වයෙන් සෙත්සිරිපාය තුන්වන අදියර පරිපාලන සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන ඇත. ඒ අනුව සෙත්සිරිපාය තෙවන අදියරේ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) එහි ව්‍යාපෘති හා මෙහෙයුම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණ.
2019 වසරේ ඉදිකිරීම් ආරම්භ කරන ලදුව විවිධ අර්බුද හේතුවෙන් අතරමග නවතා දමා තිබූ සෙත්සිරිපාය තුන්වන අදියර කාර්යාල සංකීර්ණය මහල් 25 කින් යුක්ත වන අතර, වර්ග අඩි දහතුන්ලක්ෂ පනස්නවදහස් හාරසිය තිස්නවයක වපසරියකින් යුක්ත වේ. වෙනත් රාජ්‍ය ආයතනවලට ද කාර්යාල පහසුකම් සහ සේවාවන් ලබාදීමට හැකිවන පරිදි මෙය නිර්මාණය කර ඇත. ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම් ක්‍රියාවලිය නාගරික සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් සිදුකෙරෙන අතර, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, බලශක්ති අමාත්‍යංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතනවල සහය ද මෙම ව්‍යාපාතිය සඳහා ලබාගැනේ. සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 16.7 කි....!
කොළඹ කොටුව ඇතුළු කොළඹ නගරයේ ස්ථාපිත රජයේ කාර්යාල බත්තරමුල්ල ප්‍රදේශයට විතැන් කිරීමේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට රාජ්‍ය ආයතන රැසක් බත්තරමුල්ල ආශ්‍රිතව ස්ථාන ගතකර ඇත. කොළඹ පරිපාලන නගරය වාණිජ නගරයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් පරිපාලන සේවා බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර කලාපය වෙත ක්‍රමිකව ස්ථානගත කරමින් පවතී. මෙම තුන්වන අදියර නිමවීමත් සමග කොළඹ කොටුව ඇතුළු අවට ප්‍රදේශවල දැනට පවත්වාගෙන යන රාජ්‍ය ආයතන රැසක් මෙහි ස්ථාපිත කිරීමට ඉඩ පහසුකම් සැලසෙනු ඇත.
සෙත්සිරිපාය තෙවන අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීම වෙනුවෙන් පැවති සාකච්ඡාවට එක්වූ එරංග ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින්, ගොඩනැගිලි ඉදිකිරීම් ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී බහුවිධ ප්රතිලාභයන් සැලසෙන අයුරින් සැලසුම් සකස් කිරීම අත්‍යවශ්‍ය බවත් තනි තනි ආයතන වශයෙන් නොව රාජ්‍යයක් ලෙස සිතා කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කලේය. කාර්යාල සංකීර්ණ නිර්මාණය කිරීමේදී රාජ්‍ය සේවකයන්ට මෙන් ම පොදු මහජනතාවටත් සේවා ලබාගැනීමේදී පහසුකම් වැඩිකිරීම අත්‍යවශ්‍ය බව ද ඒ සඳහා නව ක්‍රමවේදයන් යොදාගැනීම තුලින් මහජනතාවට සිදුවන පීඩාවන් අවම කරගත හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. රථවාහන අංගන ඉදිකිරීමේදී ආයතනික වාහන සඳහා පමණක් නොව සේවා ලබාගැනීමට පැමිණෙන පොදු මහජනතාවගේ වාහන නවතා තැබීමේ පහසුකම් ලබාදීම කෙරෙහිද අවධානය යොමුකරවන මෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන් දැනුවත් කලේය.එමෙන් ම දැනට සෙත්සිරිපාය 1 සහ 2 වශයෙන් පරිපාලන සංකීර්ණ දෙකක් පවතින බැවින් තෙවන සංකීර්ණය ඉදිකිරීමේදී ජනතාවට සේවා ලබාගැනීමට පහසු මග පෙන්වීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ අවශ්‍යතාව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාවට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු එම්. ජී. හේමචන්ද්‍ර, එහි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (ව්‍යාපෘති) ආනන්ද සමරසිංහ, ප්‍රධාන කාර්මික ඉංජිනේරු නිලූකා අතුකෝරල, නියෝජ්‍ය අධ්යක්ෂවරුන් වන එම්.පී.අයි. මිහිපිටිය, ජී.පී.කේ. මැදිවක, ඉංජිනේරු ජී.ඩී.ඩී. ලාලිත්‍ය සහ ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පී යූ.ඩී. අබේගුණවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු වෘත්තීය ප්‍රවීණයෝ රැසක් එක්ව සිටියහ