Friday, March 13, 2026
Follow Us
‘සිසු සැරිය’ ට අලුතින් බස් රථ 200 ක්

තවමත් ‘සිසු සැරිය’ පහසුකම් නොලබන දරුවන්ට කඩිනමින් ප්‍රවාහන පහසුකම්

පාසල් ප්‍රවාහන සේවා විධිමත් කරන්න ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක්.

ග්‍රාමීය ප්‍රදේශයන්හි පටු දුෂ්කර මාර්ග සදහා වෑන් රථ හෝ සුදුසු ප්‍රවාහන මාධ්‍යයක්.

ව්‍යාපෘතිය වෙනුවෙන් මේ වසරට රුපියල් බිලියනයක අතිරේක ප්‍රතිපාදන

පාසල් දරු දැරියන්ගේ ප්‍රවාහන අවශ්‍යතා ආරක්ෂිතව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා නව ක්‍රමවේදයක් ඔස්සේ සැලසුම් සහගත ජාතික වැඩපිළිවෙලක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇත.

ඒ යටතේ පාසල් දරුවන්ගේ ප්‍රවාහනය සම්බන්ධ ඉදිරි සැලසුම් පිළිබද විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ‘ඉසුරුපාය’ අධ්‍යාපන අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

පාසල් පද්ධතිය තුල දරුවන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමේ දී දිගුකාලීනව පවතින ගැටලු නිරාකරණය කරමින් ආරක්ෂාකාරී, ගුණාත්මක ප්‍රවාහන සේවාවක් නිවසේ සිට පාසලටත්, පාසලේ සිට යළි නිවසටත් ලබාදීම වෙනුවෙන් මෙම නව ක්‍රමවේදය බලාත්මක කිරීමට පියවර ගෙන ඇත.

මාර්ගයේ ආරක්ෂාවත්, ප්‍රවාහනයේ සුරක්ෂිතතාවත් ඇති කිරීම උදෙසා මේ තුලින් විශේෂ අවධානයක් යොමු කෙරේ. පාසල් දරුවන් ප්‍රවාහන පහසුකම් සපයාගනු ලබන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයත් පුද්ගලික බස් සහ වෑන් රථ සේවාවත් දෙමව්පියන්, ඥාතීන්, හිතවතුන් විසින් පෞද්ගලිකව ලබාදෙන ප්‍රවාහන සේවාවත් ඇතුලු සමස්ත ප්‍රවාහන මාධ්‍යයම එක් ව්‍යූහයක් සේ සලකා ප්‍රශස්ත සේවාවක් ලබාදීම වෙනුවෙන් පොදු නිර්ණායකයන් යටතේ මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

ලක්ෂ 38 ක් පමණ වන පාසල් දරුවන්ගෙන් ප්‍රවාහන මාධ්‍ය භාවිත කරන දරුවන් සඳහා පාසල හා නිවස අතර කාර්යක්ෂම හා ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් ලබාදීමට අවශ්‍ය නියාමනය හා අධීක්ෂණය මෙම වැඩ පිළිවල යටතේ සිදුකෙරේ. ‘සිසු සැරිය’ ප්‍රවාහන සේවාව නවීන තාක්ෂණය සමග ඒකාබද්ධ කර, නව නිර්ණායකයන්ට අනුකූලව වැඩිදියුණු කර පවත්වාගෙන යාමට සැලසුම් කෙරේ. දෛනිකව ‘සිසු සැරිය’ සේවා 1,620 ක් රට තුළ ක්‍රියාත්මක වන අතර එමගින් දිනකට සිසුන් 120,000 ක් පමණ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගනු ලබයි. එම සිසුන්ගෙන් සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර ගාස්තුවෙන් 50% ක මුදලක් පමණක් අයකෙරේ.

ආයතනික ඒකාබද්ධතාවය යටතේ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවලට ගැලපෙන පරිදි නව මුහුණුවරකින් මෙම සිසු ප්‍රවාහන සේවාව ඉදිරියේදී ක්‍රියාත්මක කෙරේ. ‘සිසු සැරිය’ බස් සේවාව පුළුල් කරමින් වායුසමනය කළ බස් රථ යෙදවීමටත්, පටු මාර්ග සහිත ග්‍රාමීය ප්‍රදේශ සඳහා වෑන් රථ හෝ සුදුසු වාහන යෙදවීමටත් මේ සඳහා යොදවාගනු ලබන වයස අවුරුදු 30 ට වැඩි රියදුරු, කොන්දොස්තර වරුන් සදහා අඛණ්ඩ පුහුණුවක් ලබාදීමටත් කටයුතු කෙරේ. සුරක්ෂිත රිය ධාවනයත් තාක්ෂණ දැනුමත් ආකල්ප වර්ධනය කිරීමත් සහ සිසු ගමන්වාර තනි ධාවකයින් ලෙස නොයොදවා මාර්ගයේ සියලු ධාවකයින් ඒකාබද්ධ කර ගමන් වාර කණ්ඩායමක් ලෙස (Group) සකස් කිරීමත් GPS තාක්ෂණය මගින් සේවා අධීක්ෂණය කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ ඇති කිරීමටත් යෝජිතයි.

දැනටමත් ප්‍රවාහන අවශ්‍යතා පවතින දරුවන් සිටීනම් ඔවුන් තම පාසලේ විදුහල්පතිවරුන් මගින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත හෝ පළාතේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි වෙත ඉල්ලීම් යොමුකරන මෙන් ද මෙහිදී ප්‍රකාශ කෙරිණ.

‘පොදු ප්‍රවාහනයේ දී සිසු ප්‍රවාහනය විශේෂිතයි’ යන දැක්ම මත පිහිටමින් නිසි ක්‍රමවේදයකට සිසු ප්‍රවාහන මාධ්‍ය පුළුල් සංවර්ධනයකට ලක් කිරීමට රජය කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති අතර විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් මත මීට අදාල මානව හා භෞතික සම්පත් සපුරාලීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදනයන් ලබාදීමට පියවර ගෙන ඇත.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් උදාරා දික්කුඹුර, ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල, එහි අධ්‍යක්ෂ (සැලසුම්) ආලෝකා කරුණාරත්න, අධ්‍යක්ෂ (තත්ත්ව ආරක්ෂණ) බී. එම්. ඉෆ්තිකාර් යන මහත්ම මහත්මීහු ඇතුලු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.