මඩකලපුව ශික්ෂණ රෝහලේ සෞඛ්ය සේවා යටිතල පහසුකම් ශක්තිමත් කරමින් රුපියල් මිලියන 324 ක පිරිවැයක් යටතේ ඉදි කරනු ලැබූ හෘද රෝග ඒකකයේ පළමු අදියර විවෘත කිරීම සහ ප්රතිසංස්කරණය කරන ලද ආමාශ හා ආන්ත්රික ඒකකය සහ අක්මා ඒකකය විවෘත කිරීම අද (18) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම හෘද රෝග ඒකක ගොඩනැගිල්ල මහල් 05 කින් යුක්ත වේ. වර්ග මීටර් 4,328 කින් යුත් මෙම හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ බිම් මහලේ සායන, එක්ස් කිරණ ඒකක (X-Ray) සහ ECG පරීක්ෂණ ඒකක වලින් යුක්ත වන අතර, පළමු මහල කැතීටරීකරණ රසායනාගාරය (කැත් රසායනාගාරය) සහ කිරීටක සත්කාර ඒකකය (CCU) කින් යුක්තය. දෙවන මහල ශල්යාගාර සහ ශල්ය දැඩි සත්කාර ඒකකය (SICU) කින් යුක්ත වන අතර, තුන්වන සහ හතරවන මහල් ඇඳන් 80 කින් යුත් වාට්ටුවලින් සමන්විතය.
මෙහි ඉදිකිරිම් කටයුතුවලට අදාළ උපදේශන සේවා මධ්යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය (CECB) විසින් සිදු කරනු ලබයි.
විවෘතකිරීම්වලින් අනතුරුව පැවැති උත්සව සභාව ඇමතූ අමාත්යවරයා මෙම රෝහල දිගු කලක් තිස්සේ නැගෙනහිර පළාතේ තෘතීයික සෞඛ්ය සේවාවේ කොඳු නාරටිය වී ඇති බවත් වසර ගණනාවකට පෙර සුළු පහසුකම් සහිතව ආරම්භ වූ මෙම රෝහල මේ වන විට මඩකලපුව දිස්ත්රික්කයේ ජනතාවට පමණක් නොව නැගෙනහිර පළාත පුරා සිටින රෝගීන්ට ද ප්රතිකාර කරන ප්රමුඛ ආයතනයක් දක්වා වර්ධනය වී ඇති බව පැවසීය.
2005/2006 වසරවල දී වෛද්යවරයෙකු ලෙස මෙම රෝහලේ තමන්ට සේවය කිරීමේ වරප්රසාදය ලැබුණ බව ද සිහිපත් කළ අමාත්යවරයා මඩකලපුව ශික්ෂණ රෝහලේ අඛණ්ඩ සංවර්ධනය සඳහා තමන් දැඩි ලෙස කැපවී කටයුතු කරන බව ද පැවසීය.
හෘද රෝග ඒකකය විවෘත කිරීමත් සමඟ මඩකළපුව දිස්ත්රික්කය සඳහා වු විශේෂඥ සෞඛ්ය සේවාවේ නව පරිවර්ථනීය පරිච්ඡේදයකට පිවිසෙන බව ද අමාත්යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම සන්ධිස්ථානයට සමගාමීව, නැගෙනහිර පළාතේ ජනතාවට ලබා ගත හැකි විශේෂඥ සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රෝහල තුළ නව ආමාශ ආන්ත්ර විද්යාව සහ හෙපටෝබිලියරි ඒකකය ද අද දින ආරම්භ කළ බව ද මෙම වර්ධනයන් මගින් සංකීර්ණ ප්රතිකාර සඳහා රෝගීන්ට දිගු දුර ගමන් කිරීමට ඇති අවශ්යතාවය අඩු කරනු ඇති බව ද අමාත්යවරයා පැවසීය.
මෙම ව්යාපෘති නිම කිරීම රජය සහ සෞඛ්ය අමාත්යාංශයේ ඒකාබද්ධ කැපවීම සහ දැක්මෙහි ප්රතිඵලයක් බව ද ඊට දායක වූ සැමට කෘතඥතාව පළ කරන බව ද පැවසීය.
මඩකලපුව ශික්ෂණ රෝහලේ පහසුකම් පුළුල් කිරීම, මානව සම්පත් ශක්තිමත් කිරීම සහ නවීන උපකරණ වැඩි දියුණු කිරීම ද ඉදිරියේ දි අඛණ්ඩ සිදු කරන බවත්, දිගු කලක් තිස්සේ බලා සිටි මහල් හයකින් යුත් වෛද්ය සංකීර්ණය සම්පූර්ණ කරන බවත්, හදිසි අනතුරු සහ හදිසි සේවා ගොඩනැගිල්ලේ අතිරේක මහල් ස්ථාපිත කිරීමට පියවර ගනිමින් නැගෙනහිර පළාතේ ජනතාවට ප්රශස්ත සෞඛ්ය සේවාවක් ලබාදීමට රෝහලේ ධාරිතාව බෙහෙවින් වැඩි දියුණු කරන බව ද අමාත්යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය නැගෙනහිර පළාතේ ජනතාවට ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්ය සේවාවන් ලබාදීම උදෙසා සෞඛ්ය යටිතල පහසුකම් සංවර්ධන ව්යාපෘති රැසක් ක්රියාවට නන්වා ඇති අතර, අතරමඟ ඇණහිට ඇති ව්යාපෘති ද සැලසුම් සහගත වැඩපිළිවෙලක් තුළ ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇත. අද දින ජනතා අයිතියට පත් කරන ලද මඩකළපුව ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරිම් 2018 වසරේ ආරම්භ කර තිබුණි.
පසුගිය ජුලි මස සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා නැගෙනහිර පළාතේ එකම ශික්ෂණ රෝහල වන මඩකළපුව රෝහලේ නිරීක්ෂණයට එක්වෙමින් කියා සිටියේ පසුගිය කාලය තුළ තම නිරීක්ෂණයට ලක් වු රෝහල් අතර අඩුපාඩු වැඩිම රෝහල මඩකළපුව රෝහල බවයි. පසුගිය කාලය පුරා අත්යාවශ්ය ගොඩනැගිලි ඉදිකිරීම් සිදු ව නොමැති බවත්, එම ගැටලු නිරාකරණයට පියවරෙන් පියවර කටයුතු කරමින් රෝහලේ භෞතික හා මානව සම්පත් අඩුපාඩු සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව ද අමාත්යවරයා එහි දී පැවසීය.