තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා නව ක්රමවේදයක් සති දෙකක් ඇතුළත හඳුන්වාදීමට අපේක්ෂා කරන බව වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතා පැවසීය.
මේ පිළිබඳ අදහස් පළ වුයේ වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාව ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ දීය.
මේ අවස්ථාව සඳහා වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් ගරු නියෝජ්ය අමාත්ය සුන්දරලිංගම් ප්රදීප් මහතා ද සහභාගී විය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්යවරයා ප්රමාදයකින් තොරව පොහොර ලබාදීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇති බවත්, ඒ මත පදනම්ව නව ක්රමවේදයක් යටතේ පොහොර ලබාදෙන බව සඳහන් කළේය. මේ යටතේ ගොවීන්ට තමන් කැමති ඕනෑම ස්ථානයකින් පොහොර ලබාගත හැකි බව ද අමාත්යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.
පොල් නිෂ්පාදනය වැඩිකිරීම හා ප්රවර්ධනය කිරීම සම්බන්ධ ගැටලු පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. තවද තැඹිලි නිෂ්පාදනය වැඩිකිරීම සඳහා කළුතර ප්රදේශයේ නියමු ව්යාපෘතියක් ආරම්භ කර ඇති බවත්, අනාගතයේදී මෙය අනෙකුත් ප්රදේශවලට ද ව්යාප්ත කළ හැකි බවත් අමාත්යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම තේ සහ රබර් වතුවල අතහැර දැමූ ප්රදේශ පුනරුත්ථාපනය කරන ලෙස වතු සමාගම්වලින් ඉල්ලා ඇති බවත්, ඔවුන් සුදුසු පියවර නොගන්නේ නම්, එවැනි ප්රදේශ වගා කටයුතු සඳහා යොදා ගැනීමට තීරණයක් ගන්නා බවත් අමාත්යවරයා පැවසීය.
තවද මෙම රැස්වීමේදී වතුකර ප්රදේශ සඳහා ඉන්දියානු නිවාස යෝජනා ක්රමය ඇතුළු තවත් කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම රැස්වීම සඳහා නියෝජ්ය අමාත්යවරුන්, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඇතුළු රාජ්ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.