Tuesday, May 21, 2024
Follow Us
මෙරට ඉදිකිරීම් කර්මාන්තයට චීනය, ඉන්දියාව, නේපාලය හා මියන්මාරයෙන් ශ්‍රමිකයන් ආනයනය කරන්න සිදුවෙලා

ශ්‍රම වෙළෙඳපොළෙහි රැකියා සහ නිපුණතා අතර ඇති නොගැළපීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රම හිඟයක් පවතින අතර, ඇතැම් කර්මාන්ත සඳහා ශ්‍රමය ආනයනය කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාව සඳහන් කර සිටී.

නිපුණතා පරතරයට අමතරව, තරුණ පරපුර ඒකාකාරී සහ ශ‍්‍රමය යොදවන රැකියා වෙනුවට ඒකාකාරී නොවන සහ බුද්ධිය යොදවන රැකියාවලට (cognitive jobs) වැඩි කැමැත්තක් දැක්වීම හේතුවෙන්, රැකියා අපේක්ෂකයන්ගේ බලාපොරොත්තු සහ ශ‍්‍රම වෙළඳපොළ අවශ්‍යතා අතර විශාල පරතරයක් දක්නට ලැබේ.

තවද, වැඩවල පවතින ඛණ්ඩිත (fragmented) සහ තාවකාලික ස්වභාවය හේතුවෙන් රැකියා අපේක්ෂකයන් ඉදිකිරීම් කර්මාන්තය වැනි කර්මාන්තවල රැකියා සඳහා ආකර්ෂණය වීම අවම වී ඇත. එබැවින්, ශීඝ‍්‍රයෙන් පුළුල් වන ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනය වන ශ‍්‍රම අවශ්‍යතා සපුරාලීම සඳහා ප‍්‍රධාන වශයෙන්ම චීනය, ඉන්දියාව, නේපාලය සහ මියන්මාරය යන රටවලින් ශ‍්‍රමය ආනයනය කිරීමට බලධාරීන්ට සිදු වී ඇත.

කෙසේ වෙතත්, අඩු පිරිවැය සහිත ශ‍්‍රමය ආනයනය කිරීම වෙනුවට, ශ‍්‍රම සූක්ෂ්ම නිෂ්පාදන වලින් ඉවත් වී, නිෂ්පාදන කි‍්‍රයාවලි ස්වයංකී‍්‍රයකරණය කිරීම සහ ශ‍්‍රම බලකායේ නිපුණතා ඉහළ නැංවීම හා ශ‍්‍රම වෙළඳපොළේ ඉල්ලුමක් පවතින නිපුණතා සඳහා නැවත පුහුණු කිරීම වැනි දිගුකාලීන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව මහ බැංකු වාර්ෂික වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(Lanka Leads)