ශ්රී ලංකාවේ අපනයන ක්ෂේත්රයට බලපාන ඉන්ධන බෙදා හැරීමේ ක්රියාවලිය සහ එහි පවතින ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.
අපනයනකරුවන් මුහුණ දෙන ඉන්ධන ලබා ගැනීමේ අපහසුතා, බෙදා හැරීමේ පවතින බාධාවන් සහ අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත සඳහා ප්රමුඛතා පදනමක් මත විශ්වාසදායී ඉන්ධන සැපයුම් යාන්ත්රණයක අවශ්යතාවය මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉල්ලීමකට අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්රධාන කාර්යාලයේ දී මෙම හමුව සංවිධාන කර තිබිණ.
මෙම සාකච්ඡාව සඳහා ශ්රී ලංකාවේ අපනයන ආර්ථිකයට සෘජුවම දායක වන විවිධ ක්ෂේත්ර රැසක නියෝජිතයන් සහභාගී විය.
ඒ අතරට ඇඟලුම්, මැණික් හා ස්වර්ණාභරණ, ඉලෙක්ට්රොනික උපකරණ, සමුද්රීය කර්මාන්ත, ඖෂධ, පිඟන් මැටි, රබර් සහ තාක්ෂණික ක්ෂේත්ර නියෝජනය කරන ආයතන සහ සංගම් ඇතුළත් වේ.
විශේෂයෙන්ම, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය, ශ්රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය, ලංකා මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන්ගේ සංගමය, ශ්රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය, ශ්රී ලංකා සමුද්ර කර්මාන්ත මණ්ඩලය, ශ්රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය, ශ්රී ලංකා පිඟන් භාණ්ඩ හා වීදුරු කවුන්සිලය (SLCGC), වෘත්තීය ඉංජිනේරුවන්ගේ සංගමය, ශ්රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය( SLASSCOM) ශ්රී ලංකා මුද්රණකරුවන්ගේ සංගමය(SLAP) ශ්රී ලංකා ඉලෙක්ට්රොනික නිෂ්පාදකයන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය වැනි ප්රමුඛ පෙළේ සංගම් රැසක් මෙහි දී තම අදහස් ඉදිරිපත් කළහ.