මේ වන විට ඇති වෙමින් පවතින ගෝලීය අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම සහ ඒ වෙනුවෙන් ගතහැකි පියවර පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කරයි.
මේ පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, නිමල් පලිහේන, තිළිණ සමරකෝන්, නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් 2026.03.17 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
එසේම කාරක සභාවේ අවසරය සහිතව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද මෙම කාරක සභාව සඳහා සහභාගී වූහ.
මෙම කාරක සභා රැස්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය, කර්මාන්ත හා ව්‍යාවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, වෙළඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ එකී අමාත්‍යාංශවලට අනුබද්ධ ආයතන නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.
මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් මේ වන විට ඇති වෙමින් පවතින ගෝලීය අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම බලපෑම් එල්ලවිය හැකි අංශ පිළිබඳව සහ ඒ වෙනුවෙන් ගතහැකි පියවර සහ සැලසුම් සම්බන්ධයෙන් කාරක සභාවට කරුණු පැහැදිලි කළහ. එසේම අමාත්‍යාංශ නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්ද මෙම සාකච්ඡාවට සම්බන්ධවෙමින් සිය සැලසුම් සහ යෝජනා කාරක සභාව හමුවේ ඉදිරිපත් කළහ.