සුළං ශක්තිය, සූර්ය ශක්තිය සහ සාගරයේ උදම් රළ මඟින් නිපදවන ශක්තිය භාවිත කරමින් බලශක්තිය නිපදවීමට ශ්රී ලංකාවට සහය විය හැකි බව ශ්රී ලංකාවේ නෝර්වේ කොන්සලර් Sturle Harald Pedersen මහතා පවසයි.
ඒ් මහතා මේ බව සඳහන් කළේ ඊයේ (18) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර කෘෂිකර්ම අමාත්යාංශයේදී පැවති විශේස සාකච්ඡාවකදීය.
ඊට අදාළව ඔවුන් විසින් සකස් කළ ව්යාපෘති වාර්තාවක් ද ඒ් මහතා මෙහිදී අමාත්යවරයා වෙත භාර දුන්නේය.
මෙහිදී කෘෂිකාර්මික ක්ෂේත්රය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වූ අතර, කෘෂිකර්මාන්තය සඳහා පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමේ වැදගත්කම පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡාවට ලක් කෙරිණි. මෙම සාකච්ඡාව අතරේදී නෝර්වේ කොන්සලර්වරයා බලශක්තිය කිහිප ආකාරයකින් නිෂ්පාදනය කරගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළේය.
එහිදී රටේ තිබෙන කෘෂිකාර්මික අපද්රව්ය භාවිත කරමින් ගෑස් නිෂ්පාදනය කළ හැකි බව ද ඔහු අවධාරණය කළේය.
කෘෂිකාර්මික අපද්රව්ය තිබෙන ප්රදේශ හඳුනාගෙන එම ප්රදේශවල ගෑස් නිෂ්පාදන ක්රියාවලිය ක්රියාත්මක කිරීම කෙරෙහි නෝර්වේ රටේ අවධානය යොමු වී ඇති බව කොන්සල්වරයා මෙම අවස්ථාවේදී ප්රකාශ කළේය. කොන්සල්වරයා නිරීක්ෂණය කර ඇති පරිදි ශ්රී ලංකාවේ දිවා කාලයේදී සූර්ය බලශක්තිය වැඩිපුර නිෂ්පාදනය කරන අතර, එම අමතර සූර්ය බලශක්තිය භාවිත කරමින් ජලය විද්යුත් විච්ඡේදනයෙන් හයිඩ්රජන් නිෂ්පාදනය කර එය ඉන්ධනයක් වශයෙන් පාවිච්චි කළ හැකි බව ද පෙන්වා දුන්නේය.