Monday, February 23, 2026
Follow Us
දකුණු පළාත් අපනයනකරුවන්ගේ ගැටලු විසඳීම සදහා වූ විශේෂ සමුළුව හෙට මාතර දී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන දකුණු පළාත් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ ජාලකරණ සමුළුව හෙට (24) මාතර දී පැවැත් වේ.

ප්‍රාදේශීය අපනයනකරුවන් මුහුණ දෙන අභියෝග හඳුනා ගනිමින් ඔවුන් සවිබල ගැන්වීම සහ නව අවස්ථා ගවේෂණය කිරීම මෙම සමුළුවේ මූලික අරමුණ වන අතර කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය ආරම්භ කිරීමට නියමිතයි.

මෙම සමුළුව සඳහා ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් අපනයනකරුවන් සහ රජයේ නිලධාරීන් සහභාගී වීමට නියමිත අතර මෙම සමුළුවේ දී, අපනයනකරුවන්ට තම ගැටලු සෘජුවම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමටත් ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමටත් සුවිශේෂී වේදිකාවක් හිමි වේ.

අපනයනකරුවන්ගේ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණ ඇතිව අදාළ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත අපනයන සංවර්ධන නිලධාරීන් ද මෙම සමුළුවට සහභාගී වනු ඇත.

වඩාත් ඵලදායී සාකච්ඡාවක් සහතික කිරීම සඳහා, අපනයන සංවර්ධන මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය මගින් අපනයනකරුවන්ගේ විශේෂිත ගැටලු සහ යෝජනා මේ වන විටත් රැස් කරමින් පවතී.