ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය ඔක්තෝබර් 03 වැනිදා සමුද්‍රීය ආරක්ෂක කටයුතු පවත්වාගෙන යාමේ බලය නාවික හමුදාවට පවරා දුන් බවද ඉන්පසුව ගෙවී ගිය මාස තුනක කාලය තුළ සිදුකළ මෙහෙයුම් 323න් ඇමරිකානු ඩොලර් 598,350ක ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇති බවද අධ්‍යක්ෂක ජනරාල් නාවික මෙහෙයුම් රියර් අද්මිරාල් හර්ෂද සිල්වා මහතා පැවසීය.
හර්ෂද සිල්වා මහතා මේ බව පැවසුයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදි අද (11) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී හර්ෂද සිල්වා මහතා මෙසේද පැවසීය.
මීට පෙර මෙම සේවාව සැපයීමේ බලය පෞද්ගලික ආයතනයක් වෙත පවරා තිබූ නිසා මේ ආදායම සම්පූර්ණයෙන්ම ලබාගත්තේ ඔවුන් විසිනුයි. ඔවුන් ඒ ලැබුණ ඩොලර් ආදායම සම්පූර්ණයෙන්ම අරගෙන එයින් සියයට විස්සක් වැනි පොඩි කොටසකට අදාල වටිනාකම පමණක් රුපියල් වලින් නාවික හමුදාවට ගෙව්වා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වු පසු 2025 ජුනි මාසයේදි ගත් කැබිනට් තීරණයකට අනුව නාවික නොවන කාර්යයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයන්ට වෙළඳ නෞකාවන්ට ආරක්‍ෂාව සපයන විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් වෙත සේවා සැපයීම ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යාමේ බලය පසුගිය ඔක්තෝබර් 03 වැනිදා සිට අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පැවැරුවා.
සමුද්‍රීය ආරක්‍ෂණ කටයුතු ස්වාධීනව සිදු කිරීම සඳහා අවශ්‍ය කරන භෞතික හා මානව සම්පත් බොහොමයක් නාවික හමුදාව සතුව මේ වන විටත් පවතිනවා. ඒ නිසා අවම පිරිවැයකින් යුතුව එම කටයුතු සිදු කිරීම ඉදිරියේදී පුළුල් කිරීමට නාවික හමුදාව සූදානම්.
මෙම වගකීම නාවික හමුදාවට පැවරීමෙන් පසු විදේශීය පෞද්ගලික ආරක්ෂක සමාගම් තිස් දෙකක් සමග ගිවිසුම් ගතවීමට හැකියාව ලැබුණා. ඒ වගේම නාවික හමුදාවේ සේවය ලබාගැනීම සඳහා ගිවිසුම් ගතවීමේ ප්‍රවණතාව වැඩිවී ඇති බවක්ද දකින්න පුලුවන්.
මෙහිදි නාවික හමුදාව මාධ්‍ය අධ්‍යක්ෂක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතාද අදහස් දැක්වූ අතර අධ්‍යක්ෂක නාවික මෙහෙයුම් කොමදොරු අතුල ජයවීර මහතාද එම අවස්ථාවට සහභාගී විය.