මහියංගනය ප්‍රදේශයේ පිහිටි ලංකා පිඟන් සංස්ථාවට (Ceylon Ceramic Corporation) අයත් අක්කර 96ක භූමිය කර්මාන්ත හා වෙළඳ පුරවරයක් ලෙස සංවර්ධනය කර ප්‍රදේශයේ ආර්ථයට සක්‍රීයව දායක කරගැනීමට අමාත්‍යවරයා ඊයේ (10) එම කර්මාන්තශාලා පරිශ්‍රයේ සිදු කළ විශේෂ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මෙම තීරණයට එළඹුණි.
මෙම වටිනා භූමි සම්පත ප්‍රදේශයේ ආර්ථිකයට සක්‍රීයව දායක කරගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සමඟ එක්ව විධිමත් සංවර්ධන සැලැස්මක් (Master Plan) සකස් කිරීමට මෙහිදී අවධානයට ලක් විය.
මෙම සංවර්ධන ව්‍යාපෘතියේ මූලික පියවරක් ලෙස, මහියංගනය ප්‍රදේශවාසීන්ගේ පහසුව උදෙසා සතියේ සෑම දිනකම ක්‍රියාත්මක වන නවීන මහජන පොළක් ඉදිකිරීම සඳහා සංස්ථා භූමියෙන් අක්කර තුනක ප්‍රමාණයක් වෙන් කිරීමට කටයුතු කෙරේ. එසේම, වසර 30කට ආසන්න කාලයක් තිස්සේ මෙම භූමියේ පදිංචිව සිටින ජනතාව මුහුණ දෙන ගැටලු සැලකිල්ලට ගනිමින්, ඔවුන්ට නීත්‍යානුකූල ඉඩම් ඔප්පු කඩිනමින් පවරා දීමට ද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය. මෙයට අමතරව, භූමියේ පවතින මැටි නිධිවල වටිනාකම පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය (GSMB) හරහා මාසයක් ඇතුළත විද්‍යාත්මක වාර්තාවක් ලබා ගැනීමට ද නියමිතය.
පාරිසරික ප්‍රතිසංස්කරණය පිළිබඳව ද අවධානය යොමු කරමින්, මීට පෙර මැටි ලබා ගැනීම නිසා ඇති වී තිබෙන ආවාට නැවත පුරවා (Refilling) වෙනත් කර්මාන්ත සඳහා මෙම ඉඩම් නැවත ලබා දීමට තීරණය විය. ඉන් අනතුරුව, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ මැටි හා සෙරමික් ක්ෂේත්‍රයේ නව ආයෝජන කැඳවීමටත්, නූතන තාක්ෂණය භාවිතා කරමින් මෙම කර්මාන්තශාලා පරිශ්‍රය නැවත පණ ගැන්වීමටත් කටයුතු කෙරෙනු ඇත. මෙම සියලු සැලසුම් සහ ලේඛන කටයුතු එකිනෙකට සමාන්තරව සිදු කරමින් ව්‍යාපෘතියේ ප්‍රගතිය කඩිනම් කරන ලෙස අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අදාළ නිලධාරීන්ට වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.