රජය විසින් ක්රියාත්මක කරනු ලබන ග්රාමීය මාර්ග සංවර්ධන ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්රික්කයේ මැතිවරණ කොට්ඨාස මට්ටමින් ක්රියාත්මක මාර්ග ව්යාපෘති අතරින්, පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාසයේ දංගොල්ල හන්දිය සිට කෝපිහේන දක්වා මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු අද (11) ආරම්භ විය.
මෙම මාර්ගය කුරුණෑගල, පොල්ගහවෙල සහ වාරියපොල යන මැතිවරණ කොට්ටාස තුනම සම්බන්ධ කෙරෙන මාර්ගයකි. හම්බාර, දෙමටලුව, හෙල්ගම - රත්මලේ, පිදුරුවැල්ල, කොහාන, දංගොල්ල, දම්පිටිය, දමුණුගල, වෙහෙර බැන්ඳ, දෙමටගහපැලැස්ස, සඳගල උතුර සහ සඳගල දකුණ යන ගම්මානවල ජීවත්වන පවුල් 600 ක පමණ ජනතාව දෛනිකව පරිහරණය කරනු ලබන දංගොල්ල - කෝපිහේන මාර්ගයේ සංවර්ධනය කරනු ලබන කිලෝමීටර් 1.4 ක දිගකින් යුතු කොටස සඳහා ලක්ෂ 800 ක මුදලක් වෙන් කොට ඇත.
මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු කම්කරු ශ්රමය යටතේ මාර්ගයේ සංවර්ධනය කටයුතු සිදුවන අතර, කුරුණෑගල නගරයට පැමිණීමට කිලෝමීටර් දහයකට වඩා දුර ප්රමාණයේ අඩුවීමක් සහිත කෙටි මාර්ගයක් මේ සමග නිර්මාණය වේ. මෙම මාර්ගය අලකොලදෙණිය කර්මාන්ත පුරයට පිවිසුම් මාර්ගයක් වශයෙන් භාවිත කිරීමට හැකියාව ලැබෙන අතර, එය රටේ සංවර්ධන යාන්ත්රණය කෙරෙහි සෘජුව බලපාන බවත්, කාලය අඩුවීම නිසා ගමනාගමනය වඩාත් කාර්යක්ෂම වන බවත්, ප්රවාහන වියදම් අඩුවීම තමන්ගේ ආර්ථික වර්ධනයට සහ ජනජීවිතයට සුබවාදී බලපෑමක් බවත් ප්රදේශවාසීහු පවසා සිටියහ.
මෙම සංවර්ධන වැඩසටහන් ආරම්භක අවස්ථාවට ප්රවාහන මහාමාර්ග නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතා, ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සුජීව දිසානායක මහතා, පොල්ගහවෙල ප්රාදේශීය සභාවේ සභාපති එච්. ඒ. විමලසිරි මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ වයඹ පළාත්භාර අධ්යක්ෂ අතුල සේනාධීර මහතා ඇතුළු නිලධාරීන් සහ ප්රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.