Wednesday, November 26, 2025
Follow Us
ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය  නොවෙනස්ව පවත්වා ගනී

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් ලෙස නොවෙනස් ව පවත්වා ගැනීමට තීරණය කළේ ය. වෙනස්වන දේශීය හා ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම පිළිබඳ ව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.

දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5% ඉලක්කය කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාස කරයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය පදනම් කරගත් මතුපිට උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී අඛණ්ඩ තෙවන මාසයටත් ඉහළ ගියේය. උද්ධමනය, පෙර පුරෝකථනය කළ මට්ටමට වඩා අඩු ශීඝ්‍රතාවකින්  ඉහළ ගොස් 2026 වසරේ දෙවන භාගය වන විට ඉලක්කගත මට්ටම කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආර්ථිකයේ ඉල්ලුම් තත්ත්ව ක්‍රමයෙන් ශක්තිමත් වීමත් සමඟ මූලික උද්ධමනය ද මධ්‍යස්ථ මට්ටමින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැදිකාලීන උද්ධමන අපේක්ෂා, උද්ධමන ඉලක්කය වටා ස්ථායීව පවතී.

මූලික ආර්ථික දර්ශක මගින් අඛණ්ඩ වර්ධන ප්‍රවණතාවක් පෙන්නුම් කෙරේ. අඩු පොලී අනුපාතික වාතාවරණයෙහි සහාය ලබමින් 2025 වසරේ මේ දක්වා කාලය තුළ පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය සැලකිය යුතු ප්‍රසාරණයක් වාර්තා කර ඇති අතර, එය සියලු ආර්ථික අංශ වෙත ව්‍යාප්තව ඇත. ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් වීම මෙන්ම වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු වාහන  සඳහා ඇති ඉල්ලුම ඉහළ යෑම ද මෙමගින් පෙන්නුම් කෙරේ. ඉදිරි කාලයේදී ද මෙම ණය ප්‍රවණතාව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙළඳ හිඟය පුළුල් කරමින්, මෑත කාලීන මාසවල දී ආනයන ඉහළ ගොස් ඇත. කෙසේ වුවද, සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් ශක්තිමත් වීම මගින් විදේශීය ජංගම ගිණුම මත ඇති බලපෑම අවම වී ඇත. මහ බැංකුව විදේශ විනිමය ශුද්ධ පදනමින් මිල දී ගැනීමේ සහාය ඇතිව  2025 වසරේ මේ දක්වා කාලය තුළ දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 6 ඉක්මවූ මට්ටමක[1] පවත්වාගෙන යෑමට හැකි විය. 2025 වසරේ දෙසැම්බර් මාසයේ දී අපේක්ෂිත අමතර විදේශ අරමුදල් ගලා ඒම් අතරට බහුපාර්ශ්වීය සංවිධාන වලින් අපේක්ෂිත  ලැබීම් ද අයත් වේ. විදේශ විනිමය ද්‍රවශීලතාව වර්ධනය වීමත් සමග මෑත කාලීනව රුපියල අවප්‍රමාණය වීම කෙරෙහි ඇති වූ පීඩනය ලිහිල් වී ඇත.

දේශීය මෙන්ම ගෝලීය ආර්ථීක තත්ත්ව වෙනස්වීම් සහ උද්ගත වන ආර්ථික අවදානම් නිරීක්ෂණය කිරීම සහ ඒ සම්බන්ධ දත්ත ඇගැයීම මහ බැංකුව විසින් අඛණ්ඩව සිදු කරනු ඇත. ආර්ථිකය එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීම සඳහා සහාය වන අතර ම, උද්ධමනය ඉලක්කගත මට්ටමේ ස්ථාවර වීම තහවුරු කිරීමට සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සඳහා  මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සූදානම් ව සිටියි.

2026 වසර සඳහා වන මුදල් ප්‍රතිපත්ති විවරණය පිළිබඳ පළමු නිවේදනය නිකුත් කිරීමට නියමිත දිනය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කෙරේ.

චීන මහජන බැංකුවෙන් හිමිවුණු විදේශ විනිමය හුවමාරු පහසුකම මීට ඇතුළත් වේ.