Saturday, October 04, 2025
Follow Us
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටස ඉදිකිරීම  සඳහා ලබා ගැනීමට අපේක්ෂිත ණය මුදල් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලේ

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටස ඉදිකිරීම සඳහා ලබා ගැනීමට අපේක්ෂිත ණය මුදල් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලිණි. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දක්වමින්  මෙදින කාරක සභාව හමුවට කැඳවා සිටි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ නිලධාරීහු  මධ්‍යම අධිවේගී මාර්ගයේ  ඉදිරිකිරීම් කටයුතු සිදුවන කඩවත-මීරිගම කොටසේ දිග  36.475 Km  වන අතර  එහි වැඩ අවසන් කිරීම  සඳහා  චීනයේ  EXIM බැංකුවෙන් ඩොලර් මිලියන 500 ක ණය මුදලක්  හා අවශ්‍ය  ඉතිරි  මුදල  මුදල දේශීයව ලබා ගැනීමට අපේක්ෂා කරන බව පැවසුහ.

ඒ අනුව චීනයේ  EXIM බැංකුවෙන් ලබාගන්නා ණය මුදල සඳහා අයකරනු ලබන පොලී  අනුපාතය පිළිබඳව කාරක සභාවේදී දිර්ඝලෙස සාකච්ඡා විය. මෙහිදී  අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා චීනයේ EXIM බැංකුවෙන් ලබාගන්නා ණය මුදල සඳහා ස්ථාවර  පොලී  අනුපාතය  2.5%ක්  වූ නමුත් එම පොලී  අනුපාතය 3.5% ක්වූ  පරාසය සඳහා  එකඟවුයේ ඇයි  දැයි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය. එහිදී අදහස්  දැක්වූ  නිලධාරීහු  පවත්නා මිල ගණන් යටතේ 2.5%ක්  පොලී  අනුපාතයට  ණය  ලබාදීමට එම බැංකුව එකඟ නොවූ බවත් ඒ අනුව විචල්‍ය පොලි අනුපාතය මත 3.5%ක් වූ උපරිම පොලී අනුපාතයකට එකඟ වී ඇති බවත් එම පොලී අනුපාතය තවදුරටත් වෙනස් කරගැනීමට අපේක්ෂා කරන බව නිලධාරීහු පැවසුහ.කෙසේ වෙතත්  ඒ අනුව මෙම පොලී අනුපාතය නැවත සලකා බැලිය යුතු බවත් මෙමගින් ශ්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වන බවත්  සභාපතිවරයා  පැවසුවේය.

මේ අතර  මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ලබාගෙන ඇති ණය මුදලින් කොටසක් පියවීමට පාර්ලිමේන්තු අනුමතිය සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ 2025 වර්ෂය සඳහා පරිපූරක ඇස්තමේන්තු ද කාරක සභාවේදී සලකා බැලිණි.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග ඉදිකිරීම් සඳහා දේශීය බැංකු වලින් ලබාගෙන ඇති ණය  ප්‍රමාණය 2025.07.31 වන දින වන විට රුපියල් බිලියන 310කට අධික  මුදල් ප්‍රමාණයක් පවතින බව   ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ නිලධාරීහු කරක සභවට පැවසුහ. ඒ අනුව එම ණය මුදල් ගෙවීමට අවශ්‍ය, අයවැය තුළ වෙන් කර ඇති රුපිලියල් බිලියන 36 ක් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ අනුමතිය, මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් අපේක්ෂා කරන බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. ඒ අනුව එම පරිපූරක ඇස්තමේන්තු කාරක සභාවේදී සළකා  බැලීමෙන්  පසු අනුමත කරන ලදී.

මේ අතර වර්තමානය වන විට ශ්‍රී ලංකාව විදේශයන්ගෙන් හා දේශීයව ලබාගෙන ඇති ණය  ප්‍රමාණයන් පිළිබඳව කාරක සභාවට කැඳවා සිටි රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල නිලධාරීන්ගෙන් විමසා සිටියේය. ඒ අනුව විදේශ ණය ඩොලර් බිලියන 37 ක්ද  රුපියල් වලින් ලබාගන් ණය  ට්‍රිලියන 19.6ක් ද ගෙවීමට පවතින බවද එම නිලධාරීහු පෙන්වා දුන්හ. මෙහිදී මේ වසරේ ගෙවීමට ඇති ණය වාරික ප්‍රමාණය පිළිබඳව කාරක සභාභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසා සිටි නමුත් අදාළ  සංඛ්‍යා දත්ත ඔවුන් සතුව ඒ මොහොතේ නොතිබීම පිළිබඳව සභාපතිවරයා කාරක සභාවේ නොසතුට පළකළේය. ණය  ලබාගැනීම් සම්බන්ධ ක්‍රියාවලිය වර්තමානය වන විට සම්පුර්ණයෙන්ම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල හා සිදුවීම හේතුවෙන් ඒ සඳහා නිපුණතාවෙන් යුතු නිලධාරීන් බඳවාගැනීමේ වැදගත්කමද  මෙහිදී  කාරක සභා සභාපතිවරයා සිහිපත් කළේය.

මේ රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, සුනිල් රාජපක්‍ෂ,  නිශාන්ත ජයවීර යන මහත්වරුන්  සහභාගි වූහ.