මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳ ව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.
දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5% ඉලක්කය කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාස කරයි.
මාස එකොළහක් පැවති අවධමන තත්ත්වය නිමා කරමින්, කොළඹ පාරිභෝගික මිල දර්ශකය පදනම් කරගත් මතුපිට උද්ධමනය 2025 වසරේ අගෝස්තු මාසයේ දී ධන අගයකට පත් විය. 2026 වසරේ මැද භාගය වන විට උද්ධමනය ක්‍රමයෙන් 5% ඉලක්කය දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. දේශීය ඉල්ලුම් තත්ත්වයන් ශක්තිමත් වීම පෙන්නුම් කරමින් මූලික උද්ධමනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඉන් අනතුරුව එය මතුපිට උද්ධමන ඉලක්කයට ආසන්න අගයක ස්ථායී වනු ඇත. මැදිකාලීන උද්ධමන අපේක්ෂා, උද්ධමන ඉලක්කය වටා ස්ථායීව පවතී.
2025 වසරේ පළමු භාගයේ දී ආර්ථිකය 4.8%කින් වර්ධනය වී ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙම වර්ධන ප්‍රවණතාව 2025 වසරේ තෙවන කාර්තුවේ දී ද අඛණ්ඩ ව පවතිනු ඇතැයි මූලික ආර්ථික දර්ශක මගින් පෙන්නුම් කෙරේ. 2025 වසරේ මේ දක්වා කාලය තුළ පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය සැලකිය යුතු ලෙස ප්‍රසාරණය වී ඇති අතර, එම ණය ප්‍රසාරණය පුළුල් ලෙස සියලුම ආර්ථික අංශයන් වෙත යොමු වී ඇත. පොලී අනුපාතික අඩු වීම සහ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම මෙම ණය ප්‍රසාරණය සඳහා හේතු විය. පෞද්ගලික අංශය වෙත ලබා දෙන ණය අඛණ්ඩ ව ප්‍රසාරණය වීම ඉදිරි කාලයේ දී දේශීය ආර්ථික ක්‍රියාකාරකම් සඳහා තවදුරටත් සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වෙළඳ හිඟය පුළුල් වීමක් සිදු වුව ද, සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් වර්ධනය වීම හේතුවෙන් විදේශීය අංශය ශක්තිමත් ව පැවතුණි. ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය ශුද්ධ පදනමින් මිල දී ගැනීම හේතුවෙන්, ණය සේවාකරණ ගෙවීම් මධ්‍යයේ වුව ද, 2025 වසරේ අගෝස්තු මස අවසානය වන විට දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 6.2ක මට්ටමේ පවත්වා ගැනීමට හැකි විය. ශ්‍රී ලංකා රුපියල බොහෝ දුරට ස්ථායීව පවතියි. ණය ස්ථාවරත්වය ඉහළ යෑම තහවුරු කරමින්, ප්‍රධාන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ත්‍රිත්වය ම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම් මේ වන විට ඉහළ නංවා ඇත. මේ අතර, භූ දේශපාලනික අවිනිශ්චිතතා තවදුරටත් පැවතිය ද, ගෝලීය මූල්‍ය තත්ත්වය ලිහිල් වී ඇත.
දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ උද්ගත වන ආර්ථික අවදානම් නිරීක්ෂණය කිරීම සහ ඒ සම්බන්ධ දත්ත ඇගැයීම මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් අඛණ්ඩව සිදු කරනු ඇත. ආර්ථිකය එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීම සඳහා සහාය වන අතර ම, උද්ධමනය ඉලක්කගත මට්ටමේ ස්ථාවර වීම තහවුරු කිරීමට සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සූදානම් ව සිටියි.
මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2025 නොවැම්බර් 26 වන දින නිකුත් කිරීමට නියමිතය.