Friday, August 15, 2025
Follow Us
ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳපොළ ජය ගනිමින් අපනයන අවස්ථා වර්ධනය කරන්න අවශ්‍ය ස්ථාවර ප්‍රතිපත්ති සකස් කරනවා - අගමැතිනී

මැණික් හා ස්වර්ණාභරණ සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා සිටිය ද අපේක්ෂිත මට්ටමට අපනයන වර්ධනයක් සිදුව නැති බවත් ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳපොළ ජය ගත හැකි පරිදි ස්ථාවර ප්‍රතිපත්ති සකස් කිරීමට රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ශ්‍රී ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින් “Gem City Ratnapura- 2025” මැයෙන් 2025 අගෝස්තු මස 15, 16 හා 17 තෙදින පුරා පැල්මඩුල්ල ග්‍රෑන්ඩ් සිල්වරේ හෝටලයේ පැවැත්වෙන ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2025 සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළාය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සංවිධානය කරන මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ ප්‍රදර්ශනය, ලෝකයේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ වෙළඳපොළක් ලෙස ස්ථාපිත කිරීමේ අරමුණින්, විවිධ වර්ගයේ මැණික්, මැණික් හා ස්වර්ණාභරණ කැණීම් සහ සැකසීම් ක්‍රමවේදයන්, පරීක්ෂණාගාර සේවා මෙන්ම ක්ෂේත්‍රයේ පුහුණු හා අධ්‍යාපන අවස්ථාවන්ගෙන් සමන්විතව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.

සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මෙසේද පැවසුවාය.

“ශ්‍රී ලංකාව මැණික් සඳහා මුළු ලෝකයේම ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ වගේම මෙම මැණික්වලින් විශාල ප්‍රමාණයක් හමුවන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්. නමුත් රත්නපුරට හිමි එම ගෞරවය ලැබී ඇති දැයි අප විමසිය යුතුයි. උසස් තත්වයේ මැණික් අපනයනයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තයෙන් ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය විශාලයි.

කෙසේ නමුත් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් දේශීය අපනයන ආදායමට දැක්විය හැකි උපරිම විභවතාවයට අපි තවමත් ළඟා වී නැහැ. නොගැළපෙන ප්‍රතිපත්තීන් මෙම ක්ෂේත්‍රයේ වර්ධනයට බාධා ඇති කරනවා. නමුත් මැණික් කර්මාන්තයේ අභිලාශගත ඉලක්ක අපනයන ආදායම ලබා ගැනීම සඳහා අවශ්‍ය ස්ථාවර ප්‍රතිපත්තීන් සකස් කිරීම සඳහා අප රජය කැපවී කටයුතු කරනවා.

ඒ වගේම මෙම ප්‍රදර්ශනය සඳහා සම්බන්ධව සිටින ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, චීනය, ස්විට්සර්ලන්තය, තායිලන්තය, පාකිස්ථානය ඇතුළු රටවල නියෝජිතයන් වෙත ස්තූතිය පුදකරනවා වගේම රජයේ ප්‍රතිපත්ති මත විශ්වාසය තබමින් ඉදිරියටත් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අපනයන කටයුතු සඳහා එක්වන මෙන් අග්‍රාමාත්‍යතුමිය ආරාධනා කළාය.

මෙම සභාව ඇමතූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා,

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් අපනයන අපේක්ෂිත දායකත්වය ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා යන අසීරු ගමනේ, දියමන්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය හා රළු මැණික් වර්ග සෘජු ව අපනයනය සඳහා නව නීති සකස් කිරීම ඇතුළු නව ප්‍රතිපත්ති රැසක් දැනටමත් සම්පාදනය කරමින් පවතින බව පැවසීය.

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ පළමු රජයේ වෙළඳ වෙබ් අඩවිය වන www.gemcityratnapura.com වෙබ් අඩවිය GOV PAY නවතම පහසුකම සහිතව එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණ.

මෙම අවස්ථාවට ශ්‍රීපාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න මහ නායක හිමි, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන අධිකාරිය හා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.