Thursday, June 26, 2025
Follow Us
ව්‍යාපාරික ක්‌ෂේත්‍රයේ කාන්තා නායකත්වය ඇගයීමට ලක් කෙරේ

කාන්තා නායකත්වය තුළින්  ප්‍රජාවන්ශක්තිමත්ව සමෘද්ධිමත්වීම පමණක් නොව ව්‍යාපාර පුළුල්ව වර්ධනය වී ඒ තුළින් ජාතික ආර්ථිකය ද ශක්තිමත්භාවයට පත්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

2025 වසරේ ගෝලීය ප්‍රධාන විධායක නිලධාරිනී විශිෂ්ටතම ව්‍යාපාරික කාන්තා සම්මාන උළෙල (Global CEO Top Businesswomen Awards 2025) ඊයේ (25) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි.

ගෝලීය ප්‍රධාන විධායක නිලධාරි සංසදය (Global CEO) සංවිධානය කරනු ලබන 2025 ගෝලීය ප්‍රධාන විධායක නිලධාරිනී  විශිෂ්ටතම ව්‍යාපාරික කාන්තා සම්මාන උළෙල යනු ව්‍යාපාරික ලෝකයේ නිර්භීත නව මිණුම් සලකුණු තබන විශිෂ්ට කාන්තාවන් ඇගයීමේ උළෙලකි. මෙහි දී විශේෂ දක්ෂතා දැක් වූ ව්‍යවසායික දිරිය කාන්තාවන් ඇගයීමට ලක් කෙරේ.

මෙරට ජනගහනයෙන් බහුතරයක් වන කාන්තාවන් අතුරින් මෙරට ආර්ථිකයට දායකවන ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉදිරියට යන, සුවිශේෂි කාන්තාවන් ඇගයීම, දායකත්වය ඇගයීම සහ සවිබලගැන්වීම මෙන් ම ශක්තිමත් නායකත්වය, උපායමාර්ගික තීරණ ගැනීම සහ නවෝත්පාදනය සඳහා නොසැලෙන කැපවීම යන ගුණාංග ද ඇගයීමට ලක් කිරීම  මෙම සම්මාන උ‌ළෙලේ අරමුණයි.

උත්සව සභාව අමතා අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ  අනාගතය හැඩගස්වන කාන්තාවන්ගේ ජයග්‍රහණ සැමරීම සඳහා සංවිධානය කරන ලද 2025 ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී ඉහළම ව්‍යාපාරික කාන්තා සම්මාන උළෙලට පැමිණීමට ලැබීම සැබෑ ගෞරයක් ලෙස සලකන බව පැවසී ය.

ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සම්මානයට පාත්‍රවන මෙම සම්මානලාභීන් තනි පුද්ගල සාර්ථකත්වයට එහා ගිය නියෝජනයක් බවත්, එම සියලු දෙනාගේ  අධිෂ්ඨානය, නවෝත්පාදනය සහ නායකත්වයේ සංකේතයක් ලෙස තම ව්‍යාපාරික  ක්ෂේත්‍රවල විශිෂ්ටත්වයට පත් වී ඇති බවත්,  වෙළෙදපොළ තුළ රැකියා නිර්මාණය කර, ආර්ථික වර්ධනය මෙහෙයවා ආර්ථික ශක්තිමත්භාවට ලබාදෙනු ලබන නායකත්වයේ  වැදගත්කම මෙම කාන්තාවන් අර්ථ දක්වා ඇති බව ද පැවසී ය.

මෙම සම්මාන උළෙල පිළිගැනීමකට වඩා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කාන්තා නායකත්වය අගයමින් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දක්ෂතා හඳුනා ගැනීමක් බව ද පැවසී ය.

වේගයෙන් වෙනස් වන තාක්ෂණික ලෝකයේ, පරිවර්තනයන් සිදු කිරීමට නායකත්වයක් අවශ්‍ය වන බවත්,  ආර්ථික ශක්තිමත්භාවය උදෙසා කාන්තාවන් ලබාදෙනු ලබන නායකත්වය තුළින්  ප්‍රජාවන් සමෘද්ධිමත් වනවා පමණක් නොව ව්‍යාපාර වර්ධනය වී ආර්ථික ශක්තිමත්භාවයට පත්වන බව ද අමාත්‍යවරයා මෙහි දී  පෙන්වා දෙන ලදි.

ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අනාගතය හැඩගස්වන කාන්තාවන්ට ගෞරව කිරීම සහ ඇගයීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රධාන විධායක නිලධාරී සංසදයට ප්‍රශංසා කරන බවත් එවැනි මුලපිරීම් හරහා මෙරට ආර්ථීක ශක්තිමත්භාවයට මංපෙත් විවර වන බව ද සම්මානලාභී නායකත්වය තවත් බොහෝ දෙනෙකුට ව්‍යාපාරික ක්ෂේත්‍රය ජයගැනීමට මඟ පාදනු ඇති බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දුනිසියානු තානාපති Dewi Gustina Tobing, ගෝලීය ප්‍රධාන විධායක නිලධාරි සංසදයේ සභාපති (Chairman Global CEO Forum) අනුර සිරිවර්ධන මහතා, කළමනාකරණය පිළිබඳ ඡ්‍යෙෂ්ඨ මහාචාර්ය (විනිශ්ච්‍ය මණ්ඩලයේ සභාපති) අජන්ත ධර්මසිරි,   ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතන‌යේ මහාචාර්ය ජයන්ත දේවසිරි, ඇස්පිරේෂන්ස් සමූහ ව්‍යාපාරයේ ආරම්භක සභාපති අජිත් අබේසේකර මහතා ඇතුළු ගෝලීය ප්‍රධාන විධායක නිලධාරි සංසදයේ සභාපතිවරුන්, අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන්, ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් මෙන් ම සම්මානලාභී ව්‍යවසායික කාන්තාවන් රැසක් එක් ව සිටියහ.