Friday, June 06, 2025
Follow Us
ඊශ්‍රායල් රැකියාවට එකම දිනකදී 148ක් පිටත්ව යයි

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන   ප්‍රතිසංස්කරණ  උප ක්ෂේත්‍රයට අදාළ  Renovation, General  work, Ceramic Tiling, Plastering work යන රැකියා සඳහා පසුගිය 04 වැනිදා පමණක් ශ්‍රී ලංකිකයින් 148 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

මෙම පිරිස ඉහත රැකියා හිමිවූ 6 වන කණ්ඩායම වන අතර, ඔවුන් කාණ්ඩ තුනක් යටතේ මෙරටින් පිටත්ව යාමට කටයුතු කර තිබිණි. 

මෙම පිරිසත් සමගින් ඊශ්‍රායලයේ ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට  අදාලව ශ්‍රී ලාංකික තරුණයින් 413 දෙනෙකු සඳහා රැකියා අවස්ථා හිමිවී තිබේ.

ඊශ්‍රායලයේ සාත්තු සේවා, ඉදිකිරීම් හා හෝටල් හා අවන්හල් යන ක්ෂේතුවලට අදාළ රැකියා අවස්ථා ශ්‍රී ලංකිකයින්ට විවෘත වී ඇති අතර, එම රැකියා සඳහා යොමුවීමට ලාංකික තරුණ තරුණියන්ගේ වැඩි උනන්දුවක් ඇතිවී තිබේ.

නිපුණතා සහිත ශ්‍රමිකයින් ඉහළ වැටුප් සහිත වෘත්තිය රැකියා සදහා විදේශ ගතකිරීමට කාර්යාංශය අපේක්ෂා කරන අතර, ඒ අනුව පුහුණු ශ්‍රමිකයින් රැකියා සඳහා විදෙස් රටවලට යොමුකිරිමට මේ වන විට කටයුතු කරමින් පවතී.

සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරට යමින් යුරෝපානු හා නැගෙනහිර ආසියානු රටවලට ශ්‍රමිකයින් යොමුවීමේ ප්‍රවණතාවයක්ද පසුගිය වසර කිහිපයේ ඇතිවෙමින් පවතින අතර, ඒ අනුව ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමුවීමටද ශ්‍රී ලාංකිකයින්ගේ වැඩි උනන්දුවක් පවතී.