Tuesday, April 01, 2025
Follow Us
ශ්‍රි ලංකාව තුළ නිෂ්පාදිත ටින් මාළු ප්‍රථමවරට විදේශ අපනයනයට
මදුරන්කුලිය Ocean food කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ocean star jack mackerel ටින් මාළු අපනයනය කිරීම සඳහා බහාලුම් වෙත පැටවීම ඊයේ(29) එම කර්මාන්ත ශාලා පරිශ්රයේ දී ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්ය අමාත්ය රත්න ගමගේමහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළේය.
 
මෙය මෙරට නිෂ්පාදිත ටින් මාළු විදේශ වෙළද පොළට අලෙවිය සඳහා අපනයනය කළ ප්රථම අවස්ථාව වේ. ඒ අනුව මෙම ටින් මාළු තොගය එක්සත් අරාබි එමිල් රාජ්ය වෙත අපනයනය කෙරේ.
මෙම අවස්ථාවට එක් වෙමින් අමාත්යවරයා සඳහන් කළේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යන නව රජයේ දැක්ම පෙරදැරිව මෙරට ඉතිහාසයේ ටින් මාළු අපනයනය කරන ප්රථම අවස්ථාව 2025 මාර්තු 29 දින බව ඉතිහාස ගතවන බවයි. මෙරට දෛයිනික ටින් මාළු පරිභෝජනය ලක්ෂ තුනක් බවත් දිනකට ටින් මාළු ලක්ෂ පහක් නිෂ්පාදනය කිරීමේ දාරිතාවයක් ඇති බවත් ඒ අනුව ටින් මාළු අපනයනයෙන් 2025 වර්ෂයේ දී ඩොලර් මිලයන 8ක් මෙරටට ගෙන ඒමට අපේක්ෂිත බවත් අමාත්යවරයා මෙහිදී පැවසීය.
 
මෙම ටින් මාළු තොගයෙ හි එක් බහාලුමක කෑන් 48000කින් යුක්ත වේ. ඉන් ඩොලර් 38,000 – 40,000ත් අතර විදේශ විනිමය මෙරටට හිමි වේ.
 
Ocean food ආයතනය විසින් ධීවරයින් මුහුදින් අල්ලන මාළු ගුණාත්මක මට්ටමින් කර්මාන්ත ශාලාව වෙත රැගෙන ඒමට විශේෂ වැඩපිළිවෙලක් ක්රියාත්මක කරයි. ඒ අනුව දේශීය ධීවර යාත්රාවන් මුහුදින් මාළු අස්වැන්න නෙලා ගෙන දින දෙකක් ඇතුලත දී Ocean food ආයතනයේ නැව් මගින් එම අස්වැන්න රැගෙන සීතාගාර තුළ තැන්පත් කර කඩිනමින් කර්මාන්ත ශාලාව වෙත ගෙන ඒම සිදු කරයි. එම නිසා පසු අස්වනු හානිය සිදුවන්නේ නැත. පසු අස්වනු හානිය අවමකිරිම මෙම ආයතනයේ ප්රධාන ඉලක්ක අතර වේ. එමෙන්ම අපනයනයට වඩාත් සුදුසු තත්වයේ මාළු කෑනයක් නිෂ්පාදනය කිරීමට මෙම ක්රමවේදය බෙහෙවින් උපකාරි වේ. එමෙන්ම මේ මගින් ධීවරයින්ට වැඩි මිලක් මුහුදේ දී හිමි වන අතර නැවත කඩිනමින් මාළු අස්වැන්න නෙලා ගැනීම සඳහා අවශ්ය පහසුකම ද හිමි වේ.
මෙහිදි Ocean food අධ්යක්ෂ මණ්ඩලය සඳහන් කළේ මේ තුළින් පසු අස්වනු හානිය අවම වීම, ධීවරයින්ට හොඳ මිලක් ලැබීම සහ දේශීය හා විදේශීය පාරිභෝගිකයින් වෙත ප්රමිතියෙන් යුතු පහසු මිලකට ටින් මාළු කෑනයක් මිල දී ගැනීමට හැකියාව සලසා ඇති බවයි.
 
ශ්රි ලංකාව තුළ ටින් මාළු කර්මාන්ත ශාලා 21 ක් දැනට ක්රියාත්මක මට්ටමේ පවතින බවත් ඉන් ධීවර දෙපාර්තමේන්තුවේ පිරිවිතරයන්ට අනුකූලව ලියාපදිංචි කළ දෙවන කර්මාන්ත ශාලාව Ocean food ආයතනය බව මෙහිදි අදහස් දක්වමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය.
 
මීට සමගාමීව අපනයන බලපත්ර ප්රනය කිරීම කර්මාන්ත ශාලා පරිශ්රය නිරීක්ෂණය සහ නව භෝජනාගාරය විවෘත කිරීම ද අමාත්යවරයා විසින් සිදු කළේය.
 
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රි අජිත් ගිහාන් මැතිතුමා, ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්යය ලේකම් සම්පත් මන්ත්රීනායක මහතා, වෙළද වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්යාංශයේ අධ්යක්ෂ කුමුදු මෙගහගේ මහතා,ධීවර ජලජ හා සාගර සම්පත් දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු පිරිස සහභාගී වූහ.