Saturday, February 22, 2025
Follow Us
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ලංකාවේ උද්ධමනය ඉහළට

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති වෙනස්වීම් සමග ගෝලීය ආහාර හා බලශක්ති මිල පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් පවතින බවත්, එම තත්ත්වය මෙරට උද්ධමනයට ද අයහපත් බලපෑම් ඇති කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව අලුතින් නිකුත් කරන ලද මුදල් ප්‍රතිපත්ති වාර්තාව සඳහන් කරයි.

එක්සත් ජනපද ප්‍රතිපත්ති සමග ආනයනික භාණ්ඩවල තීරුබදු වැඩිවීම් නිසා ගෝලීය ආහාර හා බලශක්ති මිල පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් පවතන බවද එම වාර්තාවේ දැක්වේ. මෙරට විදේශ අංශයට තීරණාත්මක වන ගෝලීය වෙ​ෙළඳාම, ආයෝජන, ප්‍රාග්ධන ප්‍රවාහ, ආර්ථික වර්ධනය, උද්ධමනය ආදී අංශවල උච්චාවචන ඇතිවීමට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිපත්තිමය වෙනස්කම් හේතුවිය හැකි බවද එහි දැක්වේ.

විදේශ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයන් විශාල වශයෙන් පිටත්ව යෑම සහ වෘත්තිකයින්ගේ සංක්‍රමණයවීම නිසා පළපුරුදු පිරිස් අහිමිවීමෙන් ඵලදායිතාවයේ අඛණ්ඩ පහත වැටීමක් ඇති කිරීමට මෙන්ම සමස්ථ ආර්ථිකයේ නිමැවුම්වලට බාධා ඇතිවන බවත් වාර්තාවේ සඳහන් කර තිබේ. කෘෂිකාර්මික නිෂ්පාදනය, ආහාර සැකසුම් අංශ, විදුලි උත්පාදනය ආදී අංශ දේශගුණික විපර්යාසවලට බලපෑමේ වැඩි අවදානමක් පවතින බවත්, එය මෙරට ආර්ථිකයේ ක්‍රියාකාරකම්වලට බලපැම් ඇතිකළ හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සිය වාර්තාවෙන් කියයි.

 වැසි සහිත කාලගුණය, අස්වැන්න නෙළන කාලය තුළ දිගටම පවතී නම්, අයහපත් කාලගුණික තත්ත්වය මත කෘෂිකාර්මික නිෂ්පාදනයට අහිතකර ලෙස බලපෑම් ඇතිකළ හැකි බවත්, එමගින් ආහාර උද්ධමනය ඉහළ යාහැකි බවත් මහ බැංකුව සිය වාර්තාව මගින් සඳහන් කරයි. අනපේක්ෂිත කාලගුණික තත්ත්වය මගින් බලශක්ති උත්පාදනය සඳහා ජල විදුලිය මත යැපීම කෙරෙහි බලපෑ හැකි නිසා බලශක්ති මිල ඉහළ යෑමේ අවදානමක් ඇතිකරනු ඇතැයි ද එහි සඳහන් වේ.

 මේ වසරේ (2025) මුල් කාලයේ දී ශ්‍රී ලංකා රුපියලේ යම් විචලනයක් නිරීක්ෂණය වූ බවත්, මේ වසරේ ජනවාරි මස 28 වැනිදා දක්වා ශ්‍රී ලංකා රුපියල සියයට 2.0 කින් අවප්‍රමාණය වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මෙරට උද්ධමනය මේ වසරේ දෙවන කාර්තුවේදී ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

 

-Aruna