Monday, January 27, 2025
Follow Us
ලංකාවේ ගුවන් සේවා කර්මාන්තයේ වර්ධනයක්

2024 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් තොටුපළ මගී, ගුවන් යානා සහ භාණ්ඩ ප්‍රවාහනයේ වේගවත් වර්ධනයක් වාර්තා කර ඇතැයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම නිවේදනය කරයි.

ඒ අනුව පසුගිය වසරේ මගී සංචලන මිලියන 8.88කි. එය 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ සියයට 17.69ක වර්ධනයකි.

ගුවන් යානා සංචලන 56,289ක් වන අතර එය 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ සියයට 20.69ක වර්ධනයක් ලෙස දැක්වේ.

භාණ්ඩ ප්‍රවාහන මෙට්‍ර්ක් ටොන් 192,498කි. එය 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ සියයට 21.13ක වර්ධනයකි.

ඒ අනුව ශ්‍රී ලංකාවට සැලකිය යුතු සන්ධිස්ථානයක් ලෙස, මෙරටට පැමිණීමේ ප්‍රධාන දොරටුව වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (ඵඍෂ්), ඇතුළු රටේ ගුවන්තොටුපළවල 2024 දී මගීන්ගේ පැමිණීමේ සහ පිටවීමේ සංචලනයේ වැඩිවීමක් වාර්තා කර ඇති අතර එය මිලියන 8.8
සීමාව ඉක්මවා ගොස් ඇත. මෙම ගුවන් මගීන්ගේ වැඩිවීම ශ්‍රී ලංකාව කළාපය හා සම්බන්ධ කිරීමේ මෙන් ම සංචාරක, වෙළෙඳාම සහ වාණිජ කටයුතු සඳහා පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ ගුවන් සේවා යටිතල පහසුකම් ඉටු කරන වැදගත් කාර්යභාරය ඉස්මතු කරයි.

මගී සංචලන වැඩිවීමට හේතු වී ඇත්තේ ගුවන් සේවා කර්මාන්තය පුළුල් කිරීම සහ සංචාරක ව්‍යාපාරය නංවාලීම අරමුණු කරගත් උපායමාර්ගික ක්‍රියාකාරකම් ඇතුළු සාධක වන අතර මෙමගින් සංචාරකයින් මෙරටට පැමිණීම වැඩි කිරීමෙන් ජාතියේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ සභාපති, එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය,

“ශ්‍රී ලංකාව ආසියා-පැසිෆික් කලාපයේ ප්‍රධාන ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස අඛණ්ඩව ස්ථානගත වී සිටී. මෙම සන්ධිස්ථාන රටේ ගුවන් සේවා කර්මාන්තයේ අනාගත වර්ධනය සහ සංවර්ධනය සඳහා ඇති අතිමහත් විභවය පෙන්නුම් කරයි. මිලියන 8.8 කට අධික මගී සංචලනයක් ළඟා කර ගැනීම, ශ්‍රී ලංකාවේ ගුවන් සේවා අංශයේ ශක්තිය හා හැකියාව පිළිබඳ සාක්ෂියක් වන අතර රජයේ සංචාරක ඉලක්ක සපුරා ගැනීම සඳහා අඛණ්ඩ ප්‍රගතිය පිළිබඳ පොරොන්දු දර්ශකයක් ලෙස සේවය කරයි.
අපගේ වටිනා ජාත්‍යන්තර ගුවන් සේවා හවුල්කරුවන්, සංචාරක හවුල්කරුවන් සහ අනෙකුත් සියලුම කොටස්කරුවන් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා සහ සංචාරක ක්ෂේත්‍රයට දක්වන දායකත්වය ගැන අපි සතුටු වන අතර ඔවුන්ගේ සුවිශේෂී සහයෝගය වෙනුවෙන් ඔවුන්ට අපගේ හෘදයාංගම කෘතඥතාවපළකරන්නෙමු. ගුවන් සේවා කර්මාන්තයේ අනාගත අභිවෘද්ධිය උදෙසා ගුවන් සේවා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම දැඩි ලෙස කැපවීමෙන් කටයුතු කරයි. 2 වන පර්යන්ත ව්‍යාපෘතිය සඳහා අපි දැනටමත් ටෙන්ඩර් කැඳවා 2025 සැප්තැම්බර් මාසයේදී එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර 2028 මාර්තු මස වන විට නිම කිරීමට ඉලක්ක කර ඇත.”