Sunday, January 05, 2025
Follow Us
කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරමින් කොටස් මිල දර්ශකය ඊයේ (02) දිනයේත් ඒකක 16,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව ඊයේ (02) දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,348.55ක් ලෙස වාර්තා වී තිබෙන අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 403.94ක ඉහළ යෑමකි.

එය සියයට 2.53ක වර්ධනයක් බව ද කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි. ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ මෙවැන්නක් සිදු වූ පළමු අවස්ථාව මෙය ලෙසින් සැලකෙයි.

මේ අතර දෛනික ගනුදෙනු අවසානයේ S & P SL20 මිල දර්ශකය ඒකක 4,971.87ක් ලෙස වාර්තා වී තිබෙන අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 109.77ක ඉහළ යෑමකි. මෙය සියයට 2.26ක වර්ධනයක් බව ද එම වෙළෙඳපොළ පෙන්වා දෙයි.

ඊට අමතරව ඊයේ දින රුපියල් බිලියන 12.86ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම ද විශේෂත්වයකි.