Saturday, September 14, 2024
Follow Us
සුළු අපනයන භෝග වගා වැඩසටහන් මාලාවක්

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාව වෙනුවෙන් සංවිධානය කළ සුළු අපනයන භෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පසුගිය දින කිහිපයේදී මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් ස්ථානයන්හිදී පැවැත්විණ .

ප්‍රාදේශීය ලේකම්  කාර්යාලීය කෘෂිකර්ම කමිටුවේදී ගනු ලැබූ  තීරණයකට අනුව මෙම වැඩසටහන් මාලාව පැවැති අතර  මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මිය මේ සඳහා මඟ පෙන්වීම සිදුකරන ලදී.

මිල්ලනිය සමෘද්ධි මහ සංගමයේ සහයෝගය මත, මිල්ලනිය  ගල්පාත සමෘද්ධි කලාපයේ ප්‍රජාව වෙනුවෙන් ගල්පාත බැංකුව, තිබ්බොටුගොඩ බෝධිමළු විහාරය හා  මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී මෙම වැඩසටහන් පැවැත්විණ. පොල් සංවර්ධන නිලධාරී නදීෂා ප්‍රියදර්ශනී මහත්මිය සහ සුළු අපනයන භෝග ව්‍යාප්ති නිලධාරී රුවන්ගි ලියනගේ මහත්මිය මේ සඳහා සම්පත් දායකත්වය ලබා දී තිබේ.

මෙම වැඩසටහනෙහි දී ගම්මිරිස්, කෝපි, කොකෝවා, පුවක් හා බුලත් වැනි සුළු අපනයන භෝග හා පොල් නිවැරදිව වගා කරන ආකාරය, වගාවන් ව්‍යාපාරයක් දක්වා වැඩිදියුණු කරන ආකාරය හා එකී වගා හා ව්‍යාපාර සඳහා රජය මගින් ලබා ගත ගැකි ප්‍රතිලාභ පිළිබඳවත් ප්‍රජාව දැනුවත් කිරීම සිදු කෙණි. එම දැනුවත් කිරීම් මත කඩිනමින් භෝග වගා සහ ව්‍යාපාර සඳහා යොමු වීමට කැමත්ත දැක් වූ පිරිස් වෙනුවෙන්  ඉතා අවම මිලකට භෝග පැල ලබා දිම සඳහා ඉදිරියේ දී කටයුතු සිදු කිරීමට නියමිතය.