Sunday, September 08, 2024
Follow Us
පොලී අනුපාත තවත් අඩු කරයි

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25 දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කර ඇත.

 ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා වත්මන් සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවණතා මෙන්ම දේශීය හා ගෝලීයව ඇතිවිය හැකි අවදානම් පිළිබඳව ද මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.

මෙම තීරණයට එළැඹීමේ දී, අඩු උද්ධමන ඉදිරි දැක්මක් මධ්‍යයේ, ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සහාය වීමට වෙළඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් පහළ යෑම අවශ්‍ය බවත් ඒ සඳහා ලිහිල් මුදල් ප්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ ස්ථාවරය වෙළඳපොළ වෙත දැනුම් දීමේ අවශ්‍යතාවයත් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සලකා බලන ලදී.

දැනට පවතින තොරතුරු අනුව, උද්ධමනය මැදි කාලීනව ඉලක්කගත මට්ටම වෙත ළඟා වීමට පෙර ඉදිරි මාස කිහිපය තුළ දී සැලකිය යුතු ආන්තිකයකින් සියයට 5ක උද්ධමන ඉලක්කයට වඩා අඩු මට්ටමක පවතිනු ඇති බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය නිරීක්ෂණය කර ඇත.