Sunday, September 08, 2024
Follow Us
රජයට ඉතිරි වූ රු.බි.6ක්

2024 වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් 80%ක චීන ප්‍රදානයක් වශයෙන් ලැබූ බවත් 2025 වර්ෂයට අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි ද සම්පූර්ණයෙන් ම නොමිලේ චීන රජයෙන් ලබා දීමට එකඟ වී ඇති බවත් ඒ අනුව රුපියල් බිලියන හයක් රජයට ඉතුරු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වෙත පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක වැඩසටහනට ඊයේ සහභාගී වෙමින් පිටිපන ප්‍රධාන ගබඩා සංකීර්ණයේ දී ය.

පසුගිය 2019-2021 වර්ෂවල පැවති කොවිඩ් 19 ව්‍යසනය, අරගලය හා වෘත්තීය ක්‍රියාමාර්ග මෙන් ම ආර්ථික පසුබැස්ම නිසා අහිමි වූ සියලු පාසල් අධ්‍යයන කටයුතු 2025 වර්ෂය වන විට යාවත්කාලීන කර අවසන් කරන බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

 ඒ වෙනුවෙන් පසුගිය වසර දෙකක කාලය පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු දෙනා කළ සුවිශාල කැපවීම පිළිබඳ බොහෝ දෙනකුට අවබෝධයක් නොමැති බවත් විදුලිය, ඉන්ධන අද අවශ්‍ය පමණ ඇති නිසා රට යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවක එම වෙහෙසකර මතකයන් බොහෝ දෙනෙකුගෙන් ගිලිහී යමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

රජයෙන් පාසල් සිසු සිසුවියන්ට නොමිලේ දෙනු ලබන පෙළපොත් ඉදිරි 2025 වර්ෂයේ දීත් නිසි කලට අඛණ්ඩ ව ලබා දීමේ අරමුණින් එම ඉදිරි වර්ෂයට අදාළ පෙළපොත් බෙදා හැරීමේ කටයුතු අද දින මෙසේ ඇරඹුණ බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී කියා සිටියේ ය.