Sunday, September 08, 2024
Follow Us
රජය දෙන සහන පාරිභෝගියාටද නොදුන්නොත් භාණ්ඩවලට පාලන මිලක්

රජය විසින් ලබාදෙන සහන පාරිභෝගියාටද ලබා දීමට ව්‍යාපාරික ප්‍රජාව කටයුතු නොකළහොත් ඇතැම් භාණ්ඩ සඳහා පාලන මිලක් නියම කිරීමට සිදුවන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

පාරිභෝගික පනත සංශෝධනය කිරීම සඳහා අදාළ යෝජනා ඉදිරි සති දෙක තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැළසුම් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,

පසුගිය වසර කිහිපය තුළ පැවති අර්බුද සමය අවසන් කිරීමට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ වෙනුවෙන් සුවිශේෂ නායකත්වයක් ලබා දුන්නා. රජයක් ලෙස අප මෙම සාර්ථකත්වය ලබා ගැනීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. එහි සාර්ථක ප්‍රතිපල ජනතාවට මේ වන විට භුක්ති විදීමට ලැබෙමින් තිබෙනවා.

ඒ වගේම ජනතාවට මේ වන විට සහන සහ වරප්‍රසාද ලබා දීමට හැකිවී තිබෙන්නේ පසුගිය වසර දෙක තුළ සිදු කළ ආර්ථික ප්‍රතිපත්ති නිසා බවද සඳහන් කළ යුතුයි. එමඟින් උද්ධමය පාලනය කිරීමට හැකියාව ලැබුණා. ඒ වගේම මේ වන විට ජනතාවගේ ආදායම වැඩි කිරීම සඳහාද වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම බැංකු පොලිය අඩු කිරීමේ සහනය ලබාදීම වෙනුවෙන් මහ බැංකුව විසින් අවශ්‍ය ප්‍රතිපත්ති තීන්දු තීරණවලට එළඹී තිබෙනවා. ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ ජනතාවට තවත් සහන ලැබෙන බව අපට විශ්වාසයි.

ඒ වගේම පාරිභෝගික පනත සංශෝධනය කිරීම සඳහා නීති වෙනස් කර තිබෙනවා. ඉදිරි සති දෙක තුළ ඊට අදාළ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. තවද පාරිභෝගිකයා සහ වෙළෙන්දා අතර පවතින අවබෝධය වැඩි කිරීමට ද කටයුතු සැළසුම් කර තිබෙනවා.

එපමණක් නොවෙයි, මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ 15 ක් සඳහා සතියකට වරක් අප මිල ප්‍රකාශ කිරීමක් සිදු කරනවා.නමුත් රජය විසින් ලබා දෙන සහන පාරිභෝගිකයාට නොලැබෙන බවක් නිරීක්ෂණය වෙනවා. මේ සම්බන්ධව ඉදිරි දින කිහිපය තුළ වෙළඳ සංගම් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අප විසින් ලබාදෙන සහන පාරිභෝගියාට ලබා නොදෙන්නේ නම් ඇතැම් භාණ්ඩ සඳහා පාලන මිලක් නියම කිරීමට සිදු වන බව පැවසිය යුතුයි.