Friday, May 17, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඉහළට

ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය පසුගිය මාර්තු මාසය වන විට අමෙරිකානු ඩොලර් බිලියන 05 දක්වා වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කරයි.

දළ නිල සංචිත ප්‍රමාණය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතූ වී ඇත්තේ මහ බැංකුව ශුද්ධ පදනම මත දේශීය විදේශීය විනිමය වෙළෙඳපලෙන් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිලදී ගැනීමයි.

චීන මහ බැංකුවෙන් ලැබුණු විදේශ විනිමය හුවමාරු පහසුකමද මෙම නිල සංචිත සඳහා ඇතුළත්වේ.

එසේම මාර්තු මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,139ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 9.8ක ඉහළ යාමක් බවත් වාර්තා වේ.

අපනයන ආදායම ඉහළ යාම සඳහා කාර්මික භාණ්ඩ අපනයනය ඉහළ යාම ප්‍රධාන වශයෙන් දායක වී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේ දී ඉහළ ගොස් ඇති බවයි.

මේ වසරේ මාර්තු මාසයේ දී සංචාරක ඉපැයුම් ද ඉහළ ගොස් ඇති අතර විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ද මාර්තු මාසයේ දි අමෙරිකානු ඩොලර් මිලියන 572 දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ රුපියල අතිප්‍රමාණය වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පවතින බවත් අප්‍රේල් මස 30 වන දින දක්වා කාලය තුළ දී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 9.1කින් අතිප්‍රමාණය වී ඇති බවයි.

Dinamina