Monday, April 29, 2024
Follow Us
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වසර මැද ස්ප්‍රිං සමුළුවට සමගාමීව හමුවීම් රැසක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ "වසර මැද ස්ප්‍රිං සමුළුව” අමරිකාවේ වොෂිංටන් ඩී.සී. හි දී ඊයේ (15) පැවැත්විණ.

මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වී සිටී.

ඊට සමගාමීව ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය, වර්ධනය සහ ආයෝජන අවස්ථාවන් පිළිබඳව ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය (BCIU) සමඟ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සාකච්ඡාවට එක්ව තිබේ. 

මෙම සාකච්ඡාව ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකාවේ ඇති අවස්ථාවන් පිළිබඳව කේන්ද්‍රගතවු අතර අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය, පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මය සහ තාක්‍ෂණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල උපායමාර්ගික ආයෝජන මගින් තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කරගත හැකි අයුරු සාකච්ජා කර ඇත. 

මෑත කාලීන ආර්ථික හා අනෙකුත් ප්‍රතිසංස්කරණ, ප්‍රතිඵලවලට පරිවර්තනය වී ඇති ආකාරය ඇතුළුව ශ්‍රී ලංකාව සම්බන්ධව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන හා වත්මන් සාර්ව-ආර්ථික වැඩපිළිවෙළ ද මෙහි  දී සාකච්ජා කර තිබේ. 

ශ්‍රී ලංකා ආර්ථිකයේ අවස්ථාවන් පුළුල් කිරීමට ජාත්‍යන්තර අවබෝධය සහ සහයෝගීතාව වැඩි කිරීමට සහභාගිවුවන්, පාර්ශවකරුවන් සහ ගෝලීය හවුල්කරුවන් දක්වන උනන්දුව සනිටුහන් කරමින් සංසදය අවසන් විය.

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර ඉතා ඵලදායී සාකච්ඡාවක් පැවැත්විණ.

ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සහ ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ඔකමුරා මහතා ශ්‍රී ලංකා රජයට  ප්‍රශංසා කරනු ලැබිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව අත්කරගත්  ජයග්‍රහණ ආරක්ෂා කර ගනිමින් ශක්තිමත් හිමිකාරීත්වයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කර තිබේ. 

මෙහි දී මෑතකාලීන සමාජ - ආර්ථික වර්ධනයන් සහ වැඩසටහන යටතේ සිදු කරන ලද සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවල අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ශ්‍රි ලංකාව සිදු කළ කැපකිරීම පෙන්වා දෙනු ලැබීය.

එමෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සඳහා විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතා සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් ද පැවැත්විණ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය මෙන්ම 2024 මාර්තු මාසයේ දී එළඹුණු කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමෙන් පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ හි වැඩසටහනේ 2 වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා වන ඊළඟ පියවර පිළිබඳව මෙහි දී සාකච්ඡා කර ඇත.

මේ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා සමඟ ද මුදල් අමාත්‍යවරයා මෙම සංචාරයේ දී සාකච්ඡා කර තිබේ.

මෙහි දී දුෂ්කර ප්‍රතිසංස්කරණ මාලාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා පළ වී ඇති අතර ලෝක බැංකුවේ විවිධ අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගත කිරීම් සහ මෙම වෙනස්කම් ශ්‍රී ලංකාව වැනි රටවලට ප්‍රයෝජන ගත හැකි ආකාරය පිළිබඳව දැනුවත් කරමින් සහ ශ්‍රී ලංකාවට තම උපරිම සහයෝගය ලබා දෙන බවට සහතික කරමින් සාකච්ඡාව නිමාවට පත් විය.