Saturday, July 27, 2024
Follow Us
අධිවේගී මාර්ග මෙහෙයුම් කළමනාකරණය  පෞද්ගලික සමාගමකට දීලද?

අධිවේගී අධිවේගී මාර්ග මෙහෙයුම් කළමනාකරණය කිරීම කිසිසේත්ම පෞද්ගලික සමාගමකට ලබා දී නොමැති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

 අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

අධිවේගී මාර්ග මෙහෙයුම් කළමනාකරණය කිරීම රජය සතු සමාගමක් වන සහන්යා ඉන්වෙස්ට්මන්ට් කම්පැනි මඟින් බවත්, එම සමාගම 100% ක් රජය සතු සමාගමක් වන අතර එහි අයිතිය ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියට සහ මහා භාණ්ඩාගාරයට බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

අධිවේගී මාර්ග ලාභ ලබන නොව විශාල ණය අර්බුද සහිත තත්ත්වයක් තිබෙන ආයතන බවත්, ලංකාවේ ප්‍රතිව්‍යුහගත කළ යුතු සහ බේරාගත යුතු ආයතන වන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය, එයාර් ලංකා සමාගම, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය වැනි අර්බුද සහිත ආයතන බවත්, එම ආයතන අර්බුද වලින් ගොඩ ඒම සඳහා තාක්ෂණික, හා කළමනාකරණ උපායමාර්ගික ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් හෙතෙම මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.