Thursday, May 02, 2024
Follow Us
මහ බැංකු සේවකයන් පඩි වැඩිකරගෙන

ස්වාධීන ආයතනයක් ලෙස මහ බැංකු සේවකයන්ගේ වැටුප් තීරණය කිරීමේ බලය බැංකු පනතින්ම මහ බැංකුවට ලැබී තිබෙන බවත් එහි සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් රජය තීරණ නොගන්නා බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසීය.

ලෝකයේ සෑම මහ බැංකුවක්ම විශේෂිත පුද්ගලයන්ගෙන් විශේෂිත වූ ශ්‍රමයක් ලබා ගන්නා බැවින් ඔවුන්ට ඉහළ වැටුප් ලබා දෙන බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ අනුව පනත ප්‍රකාරව මහ බැංකු සේවකයන් ඔවුන්ගේ වැටුප් වැඩිකර ගැනීමක් සිදුකරගෙන තිබෙන බවද හෙතෙම කීවේය.රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ටැලන්ට් හබ් ආයතනයේ මෙහෙයවීමෙන් මහනුවර රෝයල් කැන්ඩියන් හෝටලයේ ඊයේ (18 වැනිදා) පැවැති ටැලන්ටි ෂෝ 2024 නිර්මාණ දැක්ම හා සම්මාන ප්‍රධානෝත්සවයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්ය.

මහ බැංකුව වැනි මෙරට ආර්ථිකයේ තීරණාත්මක ආයතනයක විශේෂඥ දැනුම ඇති සුවිශේෂී පුද්ගලයන් සිටිය යුතු බව පැවසු ඇමැතිවරයා මහ බැංකුවට අතිවිශේෂිත වූ පුද්ගලයන් නොගත් විට සිදුවන විනාශය පසුගිය කාලයේ අප අත්විඳි බවද පැවසීය.

මේ වනවිට උගත් දැනුම ඇති විශේෂිත පිරිස් රට හැර යන මොහොතක එවැනි පිරිස් රට තුළ රඳවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වී තිබෙන බවත් ජනතාව බදු බරින් පීඩා විඳිත්දී මහ බැංකුවේ පිරිස් වැටුප් වැඩිකර ගැනීම අසාධාරණ යැයි ප්‍රකාශ කළද සෑම කාරණයක් තුළම දෙපැත්තක් තිබෙන බවත් අමතක නොකළ යුතු යැයිද හෙතෙම කීවේය.

එම නිසා මහ බැංකුවේ සිටින ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පුද්ගලයන් අප රැක ගත යුතුව ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.