Friday, May 17, 2024
Follow Us
සිංගප්පූරුව සමඟ වෙළෙඳ, ආයෝජන සබඳතා ඉහළ නැංවීමට සාකච්ඡාවක්

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර ද්වීපාර්ශවීය වෙළෙඳ, ආයෝජන අවස්ථාවන් පුළුල් කිරීම සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හා සිංගප්පූරු අනේවාසික මහකොමසාරිස් චන්ද්‍රා දාස් මහතා අතර ද්වීපාර්ශවීය සාකච්ඡාවක්  ඊයේ(30) වනදා වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණ.

මෙහිදී සිංගප්පූරු මහකොමසාරිස් සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාවය ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීම හරහා ශ්‍රී ලංකාවට සාධනීය ප්‍රගතියක් ළඟා කරගත හැකි බවයි. ඒ සඳහා නිසි ව්‍යුහාත්මක රාමුවක අවශ්‍යයතාවයද ඔහු අවධාරණය කරන ලදී. ඒ අනුව කඩිනම් ආර්ථික ප්‍රගතියක් උදෙසා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙලට අවශ්‍යය සහයෝගය ලබා දෙන බව මහකොමසාරිස්වරයා සඳහන් කරන ලදී.තවද සිංගප්පූරු වෙළෙඳපොලෙහි 60% වඩා කොටස් හිමි “ NTUC සුපිරි වෙළෙඳසැල් ජාලය “ නැරඹිම සදහා ආරාධනා කරමින් එය ලංකා සතොස ඇතුළු මෙරට සුපිරි වෙළෙඳසැල් ජාලා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වැදගත් වනු ඇතැයි සඳහන් කරන ලදී.

මෙහිදී අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍යවරයා භූමිය, හිතකර කාලගුණය හා සම්පත් බහුල රාජ්‍යයක් ලෙස මෙරටට සිංගප්පූරු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමේ විභවතාවය විමසන ලදී. විශේෂයෙන් මෙරට පසු අස්වනු හානිය ඉතා ඉහළ බව සඳහන් කළ අමාත්‍යවරයා එහි පිරිවැයද පාරිභෝගිකයා හට දැරීමට සිදු වන බවද සඳහන් කරන ලදී. ඒ අනුව වඩා ගුණාත්මක ඵලදාවක් ලබා ගැනීමටත්, සිංගප්පූරුව වැනි රටවල පවතින දිගු කාලයකට ප්‍රමාණවත් තරම් තොග ගබඩා කිරීමට අවශ්‍ය නව තාක්ෂණික දැනුම ලබා ගැනීම සඳහා සිංගප්පූරු රාජ්‍යයේ සහයෝගය ලබා ගැනීමට ඇති අවස්ථාවන් අමාත්‍යවරයා විමසා සිටින ලදී. මෙහිදී මහ කොමසාරිස්වරයා ආහාර සුරක්ෂිතතාවය උදෙසා මෙරට ගොවීන් ඇතුළු නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රජාව සමූපකාර හා පළාත් සභා වැනි ආයතන හරහා නිසි ලෙස සම්බන්ධීකරණය කරන ලෙසත්, නිෂ්පාදනය ඉහළ නැංවීම උදෙසා ආයෝජන ඇතුළු අනිකුත් පහසුකම් ලබා දීමට සූදානම් බවත් සදහන් කරන ලදී.

මෙහිදී ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් හා දෙරට අතර ආර්ථික, දේශපාලන හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන් සම්බන්ධ නව අවස්ථාවන් හා සහයේගීතාවය වර්ධනය කර ගත හැකි ක්ෂේත්‍රයන්  පිළිබදව හා සිංගප්පූරුවේ ආර්ථික ගමන්මගේ අත්දැකීම් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.