Friday, May 17, 2024
Follow Us
ලිට්‍රෝ ගෑස් සමාගමෙන් තවත් බිලියන 1.5ක් මහා භාණ්ඩාගාරයට

ලිට්‍රෝ ගෑස් සමාගමේ 2023 වසරේ ලාභයෙන් රුපියල් බිලියන 1.5ක මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා දීම සඳහා එම සමාගමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට භාරදීම ඊයේ (26) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.

අදාළ චෙක්පත ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා විසින් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා වෙත නිල වශයෙන් භාර දුන් අතර, සාගල රත්නායක මහතා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරීනී ශ්‍රියානි කුලසිංහ මහත්මිය වෙත එම චෙක් පත භාරදෙන ලදී.

ආර්ථිකමය වශයෙන් රට අසීරු තත්ත්වයකට පත්ව සිටියදී වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් සහ සාගල රත්නායක මහතාගේ සහයෝගය මත ලිට්‍රෝ ගෑස් සමාගම ඉහළ වර්ධනයක් කරා ළඟා වී ඇති බවත් එහි ප්‍රතිලාභ නැවතත් රජයට ලබාදීමට හැකිවීම පිළිබඳව සතුටට පත්වන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මෙහිදී සඳහන් කළේය.

ලිට්‍රෝ සමාගම 2023 වසරේ පමණක් රුපියල් බිලියන 03ක් ලාභාංශ වශයෙන් මහා භාණ්ඩාගාරයට වෙත යොමු කර ඇති බවද මුදිත පිරිස් මහතා වැඩිදුරටත් පැවසීය.