Friday, May 17, 2024
Follow Us
බැංකු අය කරන ණය පොලිය වහාම අඩු කළ යුතුයි

මුදල් මණ්ඩලය දිගින් දිගටම ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත දැමීමේ තීරණයන් ගෙන තිබෙන වාතාවරණයක් යටතේ ගනුදෙනුකරුවන් බැංකුවලින් ලබා ගෙන තිබෙන ණය සඳහා අය කරන පොලිය වහාම අඩු විය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

එලෙස බැංකු පොලී අනුපාත පහත දමන්නේ නැති ආයතනවලින් දැනටමත් මහ බැංකුව විසින් නිදහසට කරුණු විමසා ඇති බවත්  ඉදිරියේදී ලබා ගන්නා ණය පහසුකම්වල පමණක් නොව දැනට ලබාගෙන ඇති ණය පහසුකම්වලද පොලී අනුපාත අඩු කිරීමට බැංකුවලට සිදුවනු ඇතැයි මහ බැංකුවේ අධිපතිවරයා සඳහන් කළේය.

කොළඹ කොටුව ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ ඊයේ (23) පැවැති මුදල් ප්‍රතිපත්ති දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අධිපතිවරයා මේ බව පැවසීය.

මේ වන විට පෞද්ගලික අංශය විසින් බැංකුවලින් ලබා ගන්නා ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇත. පසුගිය වසරේ මුල් හා දෙවැනි කාර්තුව ආර්ථික වර්ධනය සෘණ අගයක් ගත්තද වසර අවසන් කාර්තු දෙකෙහි ධන අගයක් ගෙන තිබීම සතුටුදායක තත්ත්වයක් බවද අධිපතිවරයා කීය.

මේ වසරේ ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගනු ඇතැයිද අධිපතිවරයා අපේක්ෂා පළ කළේය. පෞද්ගලික අංශයේ ණය ලබා ගැනීම් ඉහළ යෑම පෙන්නුම් කරන්නේ ආර්ථිකයේ පිබිදීමකට මුල පිරීමක් වේ. ඒ අනුව නව කෘෂි කර්මාන්ත හා සේවාවල වර්ධනයක් සිදුවනු ඇත. මෙම ණය පහසුකම් ලබා ගැනීමේදී ඉදිරියේදී පොලී අනුපාත අඩුවනු ඇත. දැනට ලබාගෙන ඇති ණය සඳහා වන ඉහළ පොලී අනුපාතද නුදුරේදී පහත හෙළීමට බැංකු පද්ධතිය කටයුතු කරනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා අපේක්ෂා කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පෙරේදා (22) පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් සියයට 9.00 සහ සියයට 10.00 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.

ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.