Friday, May 17, 2024
Follow Us
ලියාපදිංචිය නොපෙන්වන වෙළෙන්දුන්ට VAT ගෙවන්න එපා

වර්ෂයකට රුපියල් මිලියන 80ක පිරිවැටුමක් සහිත සෑම ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක්ම වැට් සඳහා අනිවාර්යයෙන් ම ලියාපදිංචි විය යුතු බවත් එසේ ලියාපදිංචි වන ව්‍යාපාරිකයන් තමන්ගේ වැට් ලියාපදිංචි සහතිකය ඕනෑ ම අයෙකුට බලාගැනීමට හැකිවන පරිදි අනිවාර්යයෙන් ම ප්‍රදර්ශනය කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 යටියන්තොට ප්‍රදේශයේ පසුගියදා පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට වැට් බදු ගෙවන සීමාව වාර්ෂිකව මිලියන 80ක පිරිවැටුම වුව ද එය නුදුරේදී ම වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 60 දක්වා පහළට ගෙන ඒමට නීති සම්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ය.

එසේ ම, 2002 අංක 14 දරන වැට් බදු පනත අනුව වැට් සඳහා ලියාපදිංචි වූ සෑම අයෙකු ම වැට් බදු අය කරන්නේ නම් තම සේවාදායකයාට, පාරිභෝගිකයාට හෝ ඕනෑ ම අයෙකුට බලා ගැනීම සඳහා තම ආයතනයේ වැට් ලියාපදිංචි සහතිකය අනිවාර්යයෙන් ම ප්‍රදර්ශනය කළ යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා, එසේ නොකරන අය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කළහොත් එම අයට විරුද්ධව නීත්‍යනුකූල පියවර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කිසිදු බාධාවක් නොමැති බව ද සඳහන් කළේ ය.