Friday, May 17, 2024
Follow Us
පාකිං සමාගම් මහ නගර සභාවට මුදල් නොදුන්නොත් වෙන දේ

කොළඹ නගරයේ රථවාහන ගාල් කිරීමේ ගාස්තු එකතු කරන ආයතන විසින් කොළඹ මහ නගර සභාවට ගෙවීමට ඇති මුදල් අඛණ්ඩව මාස දෙකක් නොගෙවා පැහැර හරින්නේ නම් එම ටෙන්ඩරය අහෝසි කිරීම නියෝග කර තිබේ.

2019ට පෙර වසරවල කොළඹ මහ නගර සභාවට රථවාහන ගාල් කිරීමේ ගාස්තු එකතු කරන ලද ආයතන විසින් රුපියල් මිලියන පහක මුදලක් නොගෙවා පැහැර හැරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

එමෙන්ම 2019 වසරේ සිට 2023 නොවැම්බර් 30 වැනිදා දක්වා කොළඹ නගරයේ රථවාහන ගාල් කිරීමේ ගාස්තු එකතු කරන ලද ආයතන විසින් කොළඹ නගර සභාවට රුපියල් මිලියන පන්සියයක මුදලක් ගෙවීමට ඇති බව කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ඉංජිනේරු) මංජුල කුලරත්න පැවැසීය.

නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ කිසිසේත්ම මෙම මුදල් පැහැර හරින ලද ඒවා නොවන බවත් පසුගිය කාලයේ පැවැති කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදත් සමග අදාළ ආයතනවලට මෙම මුදල් ගෙවා ගැනීමට නොහැකි වී ඇති බවත්ය.

කෙසේ වෙතත් මෙම මුදල් අය කරගැනීම සඳහා මේ වන විට පියවර ගෙන ඇති බවත් 2019 වසරට පෙර රුපියල් මිලියන පහක මුදලක් නොගෙවා පැහැර හැරීම හේතුවෙන් අදාළ ආයතනයට එරෙහිව නඩු පවරා ඇති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් දැනට ගෙවීමට ඇති රුපියල් මිලියන පන්සියයක මුදල සඳහා සහනයක් ලබාදීමට කොළඹ මහ නගර සභාව පියවර ගෙන ඇති අතර ඒ අනුව පසුගිය කාලයේ පැවැති කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් ගෙවීමට ඇති මුදලින් රුපියල් මිලියන තුන්සියයක් පමණ කපා හැරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

කොළඹ මහ නගර සභාවට අයත් රථවාහන ගාල් කිරීමේ ස්ථාන එකසිය තිහකට අධික ප්‍රමාණයක් තිබේ.

Aruna