Saturday, July 27, 2024
Follow Us
පිරිසිදු රන් හමුවන කර්මාන්තයක් විවෘත වෙයි

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (e-waste) අමුද්‍රව්‍ය ලෙස භාවිත කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම ලෝහ පිරිපහදු කිරීමේ කර්මාන්ත ශාලාව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණ.

Ceylon Waste Management Refinery Pvt Ltd විසින් ක්‍රියාත්මක කරන මෙම කර්මාන්ත ශාලාව හරහා ශ්‍රී ලංකාව තුළ තිරසාර පරිසරයක් සාක්ෂාත් කර ගැනීමේ තීරණාත්මක ඉදිරි පියවරක් වනු ඇති අතර ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අමුද්‍රව්‍ය ලෙස භාවිත කිරීමෙන්, රටේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරමින් වටිනා ලෝහ සංරක්ෂණයට ද උපකාරී වීම සිදු වෙයි.

දේශීය ඉංජිනේරුවන්, කළමනාකරුවන් සහ විදේශීය විශේෂඥයන්ගෙන් සමන්විත මෙම කර්මාන්තශාලාව, රටේ වාර්ෂික ජනනය කෙරෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම අරමුණු කරන අතර මෙට්‍රික් ටොන් 300 ක වාර්ෂික නිෂ්පාදන ධාරිතාවක් ඇති කර්මාන්ත ශාලාවට සාමාන්‍ය විද්‍යුත් අපද්‍රව්‍ය ටොන් 100,000 කට වඩා වාර්ෂිකව අමුද්‍රව්‍ය ලෙස අවශ්‍ය වේ.
එමනිසා මෙම නව්‍ය ප්‍රවේශය රටේ විද්‍යුත් අපද්‍රව්‍ය එකතුවීමේ ගැටලුව විසඳීමට සැලකිය යුතු දායකත්වයක් සපයනු ඇත.


මෙම උත්සව අවස්ථාවට එක්වූ සම්භාවනීයන්ට කර්මාන්ත ශාලාවේ ක්‍රියාදාමය නිරීක්ෂණයට අවස්ථාව හිමිවූ අතර එහි සුවිශේෂී අවස්ථාවක් වූයේ විද්‍යුත් අබලි ලෝහ වලින් ලබාගත් පිරිසිදු රත්‍රන් දැකබලාගත හැකි වීමයි.