Saturday, July 27, 2024
Follow Us
කර්මාන්ත සංවර්ධන අරමුදලෙන් පළමු ණය මුදල් ප්‍රදානය කෙරේ

ෙකර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් පවත්වාගෙන යන කර්මාන්ත සංවර්ධන අරමුදල මඟින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ එක්ව ක්ෂුද්‍ර, සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ඔවුන්ගේ කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා එක් අයෙකුට ලක්ෂ 5 ක් දක්වා වූ උපරිමයකට ණය මුදල් ලබාදීමට තෝරාගත් 25 දෙනෙකු වෙත ඊට අදාළ ලිපි ප්‍රදානය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේදී අද (18) පැවැත්විණ.

‍6% ක වාර්ෂික පොලී අනුපාතයක් මත වසර 3 ක ගෙවීමේ කාල සීමාවකට යටත්ව ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි තෝරාගත් ක්ෂුද්‍ර , සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 25 ක් වෙනුවෙන් මිලියන 6.5 ක මුදලක් පළමු අදියරේ දී ප්‍රදානය කිරීමට නියමිත වෙයි.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ඔවුන් බලාත්මක කරවන 1969 අංක 36 දරණ කාර්මික සංවර්ධන පනත ප්‍රකාරව 'අවුරුදු 54 කට පසුව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මගපෙන්වීමෙන්' කර්මාන්ත සංවර්ධන අරමුදල පසුගියදා ක්‍රියාත්මක කළ ' ජාතික කර්මාන්ත සතියේ ' BMICH හි දී පැවති Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ දී රුපියල් මිලියන 10ක ආරම්භක ශේෂයකින් නිල වශයෙන් ආරම්භ කෙරිණි.
මේ වන විට රුපියල් මිලියන 15 ක් දක්වා වර්ධනය වී ඇති එම කර්මාන්ත සංවර්ධන අරමුදල ලබන වසර වන විට රුපියල් බිලියනයක් දක්වා වර්ධනය කිරීම කාර්මික සංවර්ධන මණ්ඩලයේ අපේක්ෂාව වේ.
මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ ලබන වසර වන විට සියළුම ක්ෂුද්‍ර , සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබාගත හැකි වන පරිදි කර්මාන්ත සංවර්ධන අරමුදල තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි.
එසේම වාණිජ බැංකු හා සමහර රාජ්‍ය බැංකුවල ණය ලබාදීමේදී සිදුවන ලිපි ලේඛණ ගැටලු නිසා බොහෝ කර්මාන්තකරුවන් අවිධිමත් ක්‍රම වලින් ණය ලබාගැනීමට යොමුවන බවත් එය කර්මාන්තකරුවන්ට අයහපත් බලපෑම් ඇති කරන බවත් එම තත්වයන් වෙනස් කිරීමට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස අවශ්‍ය කටයුතු සිදුකරන බවත් පැවසීය.
එමෙන්ම ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීමට කාර්මික සංවර්ධන මණ්ඩලය සිදුකරන කාර්ය භාරය වෙනුවෙන් මෙහි දී සිය ස්තුතිය පළ කිරීම ද අමාත්‍යවරයා සිදු කළේ ය.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති සුසන්ත සිල්වා මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතකා ඇතුළු ඇතුළු පිරිසක් සහභාගි වූහ.